අපනයන ඔස්සේ ලොව හා එක්වනවාද: නැතිනම් හුදකලාවී පසු බසිනවා ද (විඩියෝ)

අගෝ 25, 2019
  • Up date - අපනයන ආර්ථිකයක් ඔස්සේ ලොව හා එක්වී අපේ උත්සාහයෙන් රට ගොඩගන්නවා ද නැතිනම් හුදකලාවී පසු බසිනවා ද යන්න අද විසදාගත යුතු අභියෝගාත්මක ප්‍රශ්නය වන්නේ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

    රජරට හා කෝට්ටේ යුගයේදී මෙන් යළිත් ලෝකයේ අපනයන ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත්කරලීමට අවශ්‍ය බව ඔහු පෙන්වා දුන්නේය. පහළ මල්වතු ඔය තන්තිරිමලේ ජලාශය හෙවත් සංහිදියාවේ ජලාශය ඉදිකිරීම සඳහා අද (25) පෙරවරුවේ මුල්ගල තැබීමෙන් අනතුරුව පැවැති ජනහමුව අමතමින් අග්‍රාමාත්‍යවරයා තවදුරටත් පැවසූයේ මල්වතු ඔය යනු හුදු ජල ධාරවක් පමණක් නොව සිංහල ශිෂ්ඨාචාරයේ උල්පත හා ලාංකික අනන්‍යතාවයේ වැදගත් කොටසක් බවයි.

    ශ්‍රී ලංකාව තවදුරටත් දුප්පත් හා ණය ආධාර මත යැපෙන රටක් ලෙස පැවැතීමට ඉඩදිය නොහැකි බවත් ඒ තත්ත්වය වෙනස් කරමින් ශක්තිමත් හා පෝසත් රටක් බවට පත් කරලීමට අප කැපවිය යුතු බවත් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    පසුගිය වසර දෙක තුළ ඇති වූ ගංවතුර, නායයෑම්, නියඟය, ව්‍යවස්ථා කුමන්ත්‍රණය හා බෝම්බ පිපිරීම් ඇතුළු විවිධ ව්‍යවසනයන් හමුවේ දැඩි පසුබෑම් ඇතිවු ද ඒ සියල්ලෙන් කෙටි කාලයක් තුළ නැගිසිටීමට හැකි වූ බව ද ඒ අයුරින්ම දිගින් දිගටම කැපවීමෙන් හා වෙහෙසීමෙන් කටයුතු කරලීම ඔස්සේ ශක්තිමත් දේශයක් නිර්මාණය කරලීමට අවකාශ සැලසෙනු ඇති බව ද වික්‍රමසිංහ මහතා පැවසීය.

    රට තුළ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමටත් ඒ තුලින් කිර්තිමත් ස්වාධීන රටක් බවට ශ්‍රී ලංකාව පත්කිරීමටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාව ඇති බව තමන් වහන්සේගේ මෙන්ම රටේ බුද්ධිමත් ජනතාවගේ විශ්වාසය බව උතුරු නැගෙනහිර සංඝනායක පූජ්‍ය තන්තිරිමලේ චන්ද්‍රරතන හිමිපාණන් වහන්සේ අනුශාසන කතාව ඉදිරිපත් කරමින් පැවසූහ. උතුරු දකුණ යාකරන සදාකාලීන මහ දුක්ගින්දර නිවන තන්තිරිමලේ ජලාශයට අග්‍රාමාත්‍යතුමන්ගේ දැතීන් මුල්ගල තැබීමට ලැබීම භාග්‍යයක් බවද උන්වහන්සේ තවදුරටත් පැවසූහ.

    සේනානායක සමුද්‍රයට පමණක් දෙවන වන තන්තිරිමලේ ජලාශය සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අතර සංහිදියාව වර්ධනය කරන පියවරක් බව මෙහිදී අදහස් දක්වමින් කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසීය.

    මෙම ව්‍යාපෘතිය මගින් පවුල් 50,000 ට පානීය ජල අවශ්‍යතාව සපුරාලීමත්, විදුලි බල නිෂ්පාදනය මෙන්ම කෘෂිකර්මාන්තයේ සියලූ අවශ්‍යතා ඉටුකරලීමත් අරමුණු කෙරේ. මෙම ව්‍යාපෘතිය දශක කිහිපයකට පෙර ඉදිවූයේ නම් රටේ ඇතිවූ යුද ගැටුම් පවා වලක්වා ගැනීමට හැකියාව තිබිණ.

    තන්තිරිමලේ ජලාශය අනුරාධපුර, වව්නියාව, මන්නාරම දිස්ත්‍රික්කවල ජනතාවගේ දුක්ගිනි නිවන ව්‍යාපෘතියක් බව උත්සවය අමතමින් කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේ එක් කන්නයකට සීමාවී තිබූ ගොවිතැන් කටයුතු කන්න දෙකෙහිම සිදුකිරීමට මෙම ව්‍යාපෘතිය හරහා හැකියාව ලැබෙන බවයි. මීට අමතරව අග්‍රාමාත්‍යතුමන්ගේ නායකත්වයෙන් විශාල සංවර්ධන ව්‍යාපෘති රැසක් ලංකාව පුරා ආරම්භවී ඇති බවද අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.

    මෙම අවස්ථාවට සියම් නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක නියන්ගොඩ විජිත හිමි, අටමස්ථානාධිපති, උතුරු මැද දෙපළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමි ප්‍රමුඛ මහා සංඝරත්නයත්, අනෙකුත් ආගමික නායකයින් හා ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය සහ ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක, කෘෂිකර්මා, වාරිමාර්ග සහ ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය අමීර් අලී, කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන ඇමැතිනී චන්ද්‍රාණි බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාලිත රංගේ බණ්ඩාර, චන්දිම ගමගේ, ඉෂාක් රහුමාන්, උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක යන මහත්ම මහත්මීන් ඇතුළු යුද හමුදාවේ උසස් නිලධාරීන් පිරිසක් හා රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගිවී සිටියහ.

    pmmalwathuoya2 px 900 19 08

    pmmalwathuoya1 px 900 19 08

    පහළ මල්වතු ඔය ජලාශයේ ඉදිකිරීම් ඇරඹේ  (10:31:31)

    ශ්‍රී ලංකාවේ තෙවැනි විශාලතම ජලාශය වන "පහළ මල්වතු ඔය තන්තිරිමලේ ජලාශය" ඉදිකිරීම් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධානත්වයෙන් සුබ මෙහොතින් අද ආරම්භ විය.

    ජලාශය ඉදි කිරීමේදී මුළුමනින්ම පාරිසරික හිතකාමී ව්‍යාපෘතියක් ලෙසත්, විල්පත්තුව වනජීවී කලාපයට කිසිදු හානියක් සිදු නොවන ආකාරයටත් ක්‍රියාත්මක කෙරේ. පහළ මල්වතු ඔය ජලාශය ඉදිකිරීමේ දී එම ජලාශයට යටවන ගම්මාන තන්තිරිමලේ ප්‍රදේශයේ නැවත ඉදිකිරීමටත්, ජලාශයට යටවන ඉඩම් හා දේපල වෙනුවෙන් වන්දි ලබාදීමේ වැඩපිළිවෙල කඩිනම් කිරීමටත් තීරණය කර තිබේ.

    එම අයිතිකරුවන්ට විකල්ප ඉඩම් ලබාදීම හා නිවාස ඉදිකරදීම ද මේ වසරේදීම ආරම්භ කිරීමට නියමිතයි. මීට අමතරව තන්තිරිමලේ මිරිදිය ධීවර ගම්මානයක් හා රැකියා අවස්ථා ඇති කිරීම සඳහා කර්මාන්තශාලා කිහිපයක් ද ඉදි කෙරේ.

    පහළ මල්වතු ඔය ජලාශය ඉදිකිරීම මඟින් අනුරාධපුර සහ මන්නාරම දිස්ත්‍රික්ක දෙකේ ගොවිජනතාවට වරප්‍රසාද රැසක් හිමිවේ. අක්කර 2000ක් වී වගාව සඳහා අලුතින් අස්වැද්දීමට හැකිවන අතර අනුරාධපුර සහ මන්නාරම දිස්ත්‍රික්කවල කුඹුරු අක්කර 36,000කට වී වගාව සඳහා ජලය ලබාදීමට ද අපේක්ෂිතය. එමෙන්ම අනුරාධපුර සහ මන්නාරම දිස්ත්‍රික්කවල ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය සඳහා කියුබික් මීටර් මිලියන 05ක් පානීය ජලය වශයෙන් ලබාදෙන අතර ගිගාවොට් 4.28ක විදුලිබල උත්පාදනයට ද, උස්සාන වාරිමාර්ග වශයෙන් වාණිජ වගාව සඳහා අක්කර 675කට ජලය ලබා දීමට ද නියමිතය. සමස්ත ව්‍යාපෘතිය සඳහා වැය කරන මුදල රු.මි.12,000කි.

    තන්තිරිමලේ විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් එම ප්‍රදේශය සංවර්ධිත නගරයක් බවට පත්කෙරෙන අතර රජරට ජනතාවගේ ඉහළම බලාපොරොත්තුවක් මල්ඵල ගැන්වෙන අවස්ථාවක් ලෙස මල්වතු ඔය ජලාශයේ ඉදිකිරිම් ආරම්භ වන්නේ.

    pmmalwathuoya px 900 19 08

     

     

    Last modified on ඉරිදා, 25 අගෝස්තු 2019 20:15

    Latest News