වැරදි පුවතට ප්‍රතිචාරයක්: හදිසි නිතිය දීර්ඝ නොකිරීම විමර්ශන වලට බාධාවක් නොවේ

අගෝ 24, 2019

    හදිසි නීතිය දීර්ඝ නොකිරීම දැනට තහනම් කර ඇති සංවිධානවල තහනමටත් එම සංවිධාන සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනයන්ට කිසිදු බාධාවක් නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පවසයි.

    හදිසි නිතිය දීර්ඝ නොකිරීම සම්බන්ධයෙන් වාර්තා කර ඇති පුවතක් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව කියා සිටියේය. ඔහු මේ බව කියා සිටියේ ‍අද (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

    හදිසි නිතිය දීර්ඝ නොකිරීම හේතුවෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවේ සිටින ත්‍රස්තයින් 200 දෙනෙකුට නිදහස හිමිවන බවට සඳහන්ව ඇති පුවත ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තරයේ ප්‍රතික්ෂේප කළේය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටින හා රඳවා ගෙන සිටින සියළු ත්‍රස්ත සැකකරුවන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ඇති තාවකාලික විධිවිධාන යටතේ තිබෙන නෛතික ප්‍රතිපාදනයන් යටතේ බව ඔහු පැවසීය.

    තහනම් සංවිධාන සම්බන්ධයෙන් සහ ත්‍රස්ත ක්‍රියාවන් සම්බන්ධ පුද්ගලයින් පිළිබඳ විමර්ශන හා ඔවුන්ගේ දේපල තහනම් කිරීමට අදාලව සිදුකරන විමර්ශනයන්ට හදිසි නිතිය දීර්ඝ නොකිරීම කිසිදු බාධාවක් නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර පෙන්වා දුනී.

    Latest News