කළුගඟේ මංගල දියවරෙන් සාර්ථක රටකජු අස්වැන්නක් (වීඩියෝ)

අගෝ 22, 2019

    කළුගඟ ජලාශයේ මංගල දියවරින් වගා කෙරුණු රටකජුවල අස්වැන්න නෙලීම මේවන විට ආරම්භ කොට තිබේ.

    මොරගහකන්ද-කළුගඟ ජලාශ යෝජනා ක්‍රමය සමඟ ඉදිවූ කළුගඟ ජලාශයේ මුල්ම ජලය නිකුත් කිරීමෙන් පසුව වගා කෙරුණු වගාවන්වල අස්වනු නෙලීම ලග්ගල ප්‍රදේශයේ මේවන විට සිදු කෙරෙන බව ගොවීහු පවසති. මෙවර ලග්ගල ප්‍රදේශයේ වගා කළ රටකජු වගාවෙන් ඉතා සාර්ථක අස්වැන්නක් ලැබී තිබෙන අතර රටකජු කිලෝවක් සඳහා රුපියල් 210 ක ඉහළ මිලක් ලැබෙන බව ද ගොවීහු පෙන්වා දෙති.

    මීට පෙර ලග්ගල ප්‍රදේශයේ වසරකට එක කන්නයක් පමණක් වගාවන් සිදු කෙරුණු කුඹුරුවල මේවන විට කන්න දෙකම වගා කිරීමට හැකිව තිබෙන බව ගොවීහු පවසති. තවද ගොවීන් ගොඩ බෝග සඳහා හුරු වී රටකජු වගාව බොහෝ ඉඩම්වල වගා කොට තිබිණි. කළුගඟ ජලාශය ඉදි නොවන්නට තමන්ට මෙම කන්නයේ වගා කිරීමට නොහැකි වන බව ද ඔවුහු පෙන්වා දෙති.

    ඒ අනුව ගොවීන් සියලුදෙනා එක්ව සතුටින් අස්වැන්න නෙළන ආකාරයත් ඒවා තම ගොවිබිම්වලින් නිවසට රැගෙන යෑම සඳහා සූදානම් වන ආකාරයත් ලග්ගල ප්‍රදේශයේ යන ඕනෑම අයෙකුට මේ දිනවල දැකගැනීමට හැකිවී තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 22 අගෝස්තු 2019 12:10

    Latest News