අනවසර සංක්‍රමණිකයින් 16 ක් නාවික හමුදා භාරයට

අගෝ 20, 2019

    නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරට සිට විදේශ ගතවිමට උත්සාහ කළ ශ්‍රීලාංකීක පුද්ගලයින් දහසය දෙනෙකු (16) ඊයේ (19) නාවික හමුදා භාරයට ගෙන තිබේ.

    ඒ අනුව නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්යය බලකාය එක්ව වෙන්නප්පුව ප්‍රදේශයේ සිදු කළ වැටලිමකදි සැක කටයුතු නිවසක් නිරික්‍ෂණය කර ඇත. ඒ අනුව නීති විරෝධිව මුහුදු මාර්ග ඔස්සේ විදේශ ගත විමට සුදානම්ව සිටි පුද්ගලයින් දාහතර දෙනෙකු, නිවෙස් හිමියා සහ ජාවාරම්කරු නාවික හමුදා භාරයට ගෙන ඇත.

    ජාවාරම්කරු විසින් මීට පෙරද ඕස්ට්‍රේලියාවට නීති විරෝධි සංක්‍රමණිකයින් පිටුවහල් කිරිමට කටයුතු කර ඇති අතර, මිනිස් ජාවාරමක් සම්බන්ධව ද අත්අඩංගුවට පත්ව සිටි පුද්ගලයෙකි. අත්අඩංගුවට ගත් මෙම පිරිස කුරුණැගල, හලාවත, පුත්තලම සහ මීගමුව යන ප්‍රදේශ වල පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත. වැඩි දුරටත් මෙම පිරිස රැදි සිටි නිවස අවට පරික්ෂා කිරිමේදි පුද්ගලයින් ප්‍රවාහනය සඳහා භාවිතා කලායැයි සැක කෙරෙන කුඩා ලොරි රථයක් සහ යතුරු පැදියක් ද නාවික හමුදාව සොයාගෙන තිබේ. නාවික හමුදා භාරයට ගත් පිරිස අතර, කුඩා ළමුන් දෙදෙනෙක් (2) එක් කාන්තාවක් (1) සහ පිරිමි පුද්ගලයින් දහතුන් දෙනෙකු (13) සිටියි. ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා එම පුද්ගලයින් කුඩා ලොරි රථය සහ යතුරු පැදිය වෙන්නප්පුව පොලීසිය වෙත භාර දීමට කටයුතු කර ඇත.

    නාවික හමුදාව සිදුකරන සෝදිසි කිරිම් හේතුවෙන් මේ මස 17 වැනිදා අනවසර සංක්‍රමිකයන් දොලොස් දෙනෙකු (12) නාවික හමුදා භාරයට ගැනිමට හැකි විය. ඒ අනුව නාවික හමුදාව විසින් සිදු කරන සෝදිසි කිරිම් හේතුවෙන් මෙරටින් නීති විරෝධි ලෙස විදේශ ගතවිමට උත්සාහ දරන අනවසර සංක්‍රමණිකයන් සහ මිනිස් ජාවාරම් අවම කිරිමට නාවික හමුදාව සමත් වී ඇත.

    Latest News