පොලීසියේ 31,500 ට උසස්වීම් වරම්

අගෝ 18, 2019

    පොලිස් දෙපාර්තමේන්තුවේ පවත්නා පුරප්පාඩු නොසලකා පොලිස් කොස්තාපල් සිට පොලිස් පරීක්ෂක දක්වා උසස්වීම් ලබාදීමේ ක්‍රමවේදයක් මහා භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් සකස් කරමින් පවතී.

    85,000 කට අධික කාර්ය මණ්ඩලයෙන් යුතු පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල් සිට පොලිස් පරීක්ෂක දක්වා 31,540 දෙනෙකු සේවයේ නිරතව සිටිති.
    මෙම කාර්ය මණ්ඩලයේ බහුතරයක් වන පොලිස් කොස්තාපල්වරුන්ට, පවත්නා පුරප්පාඩු සැළකිල්ලට නොගෙන උසස්වීම් ලබාදීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන්නැයි පොලිස් දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂක අමාත්‍යංශය හරහා 2019 වසරේ මාර්තු මස මහා භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙත ඉල්ලීමක් කර තිබුණි.

    පොලිස් දෙපාර්තමේන්තුවේ පත්කිරීම්, උසස් කිරීමේ හා විනය කටයුතු භාර පොලිස් කොමිෂන් සභාවේද නිර්දේශ ඇතිව මෙම ඉල්ලීම කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර තිබිණි.

    රාජ්‍ය අංශයේ සියළු සේවාවන් සඳහා වැටුප් ඇතුළු කාර්ය මණ්ඩල හා බඳවා ගැනීම් පරිපාටි අනුමත කිරීම කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව මගින් සිදුකෙරේ. ඒ අනුව, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් පොලිස් දෙපාර්තමේන්තුවේ අදාළ නිලධාරීන් සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව මුදල් අමාත්‍යංශය පවසයි.

    පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල්වරුන්ට උසස්වීම් ලබාදීම සඳහා මුදල් නැතැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීයැයි ඇතැම් මාධ්‍යවල ප්‍රචාරය වූ ප්‍රවෘත්තිය මුළුමනින්ම සාවද්‍ය බව මුදල් අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන්වේ.

    Latest News