කළු, ගිං ගංඟා ධාරා ප්‍රදේශ ජනතාවට අනතුරු ඇඟවීමක්

අගෝ 13, 2019

    පවතින අධික වර්ෂාව සමඟ කළු, ගිං ගංඟා ධාරා ප්‍ර දේශවල ජනතාවට, වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

    නායයාම් අනතුරු අඟවා ඇති ප්‍ර දේශවල ජනතාව, දැඩි අවධානයෙන් පසුවන ලෙස, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඉල්ලා සිටී. මේ අතර දිවයිනේ නිරිත දිග කොටසේ වැසි සහ සුළං තත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. වර්ෂාවත් සමඟ කළු ගඟෙහි ජල මට්ටම රත්නපුර ප්‍රදේශයෙන් විමසිලිමත් විය යුතු මට්ටමකට පැමිණ තිබේ. තවදුරටත් ඉදිරි පැය කිහිපය තුළ පවතින වැසි තත්වයම අපේක්‍ෂා කරන අතර, මේ නිසා රත්නපුර ප්‍රදේශය ආශ්‍රිත කළු ගඟ සහ ඊට සම්බන්ධ අතු ගංගාවල ජලයේ වැඩිවීමක් අපේක්‍ෂා කරන බව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. තවලම ආශ්‍රිත ගිං ගඟ සහ ඊට සම්බන්ධ අතු ගංගා දෙපස පහත් බිම්වල ජීවත්වන ජනතාවට දැඩි අවධානයෙන් පසුවන ලෙස ද එම දෙපාර්තමේන්තුව නිකුත් කළ සඳහන් කර තිබේ. මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ප්‍රදේශ කිහිපයකට නායයාම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.

    දිවයින හරහා විශේෂයෙන් බස්නාහිර, දකුණ, සබරගමුව, උතුරු මැද, වයඹ, උතුර සහ මධ්‍යම පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය, පැයට කිලෝ මීටර 70ත්, 80ත් දක්වා ක්‍ෂණිකව ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල, විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනු ඇති. මධ්‍යම සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට, මිලිමීටර 150ට වැඩි තද වර්ෂාපතනයක් අපේක්‍ෂා කළ හැක. වයඹ පළාතේත් කොළඹ, ගම්පහ, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක 100ක පමණ තරමක තද වර්ෂාපතනයක් ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇතිවිය හැකියි. අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

    මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග මහවැලි ගග පිටාර ගැලිමෙන් නාවලපිටිය ප්‍රදේශයේ නිවාස රැසක් ජලයෙන් යට වි ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය. මහවැලි ගගට ආසන්නයේ පිහිටි නාවලපිටිය ජයසුන්දරඕවිට ප්‍රදේශයේ නිවාස 20 අද (13) පස්වරු 4 සිට ජලයෙන් යට වි ඇත. ජයසුන්දරඕවිට ප්‍රදේශයේ ඇතැම් නිවාස දෙමහල් ගොඩනැගිල්ලක් සහිත නිසා පිරිසක් උඩුමහල්වල රැදි සිටින බවත් පහත් මහලේ සිටි විශාල පිරිසක් මේ වන ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබේ.

    Last modified on අඟහරුවාදා, 13 අගෝස්තු 2019 20:32

    Latest News