මුහුද රළු වෙයි; නායයෑමේත් අවදානමක් (වීඩියෝ)

ජූලි 20, 2019

    අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් මහනුවර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා පනවා ඇති නායයෑම් අවදානම තවදුරටත් පවතින බව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.

    මේ අතර, බස්නාහිරසිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍ර දේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 80 දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ හේතුවෙන්, හෙට උදෑසන වනතෙක් ධීවර කටයුතුවලින් වැළකී සිටින ලෙස ධීවර ප්‍රජාවගෙන් ඉල්ලීමක් කෙරේ. හදිසියේ ඇතු වූ දැඩි සුළං හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ විපතට පත් ජනතාවට සහන සැලසීමට කටයුතු යොදා ඇති බව, පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන්.එච්.එම් චිත්‍රානන්ද මහතා පවසයි. සුළඟින් නිවාස 164කට හානි සිදුවිය. පවුල් 250ක සාමාජිකයින් 760ක් පීඩාවට පත්ව සිටී. ව්‍යාපාරික ස්ථාන 25කට ද අලාබ හානි සිදුව තිබේ. මහවැව, හලාවත, නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ද සුළඟින් දැඩි බලපෑම් එල්ලවී ඇති බව, අප වාර්තාකරු පවසයි. හානියට පත් නිවාස ප්‍රතිසංස්කරණයට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කඩිනම් පියවර ගෙන තිබේ. 

    ඒ පිළිබඳව අදහස් දැක්වූ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා...

    “ජල ගැලීම් තත්වය මේ වනවිට බොහෝ දුරට සමතයකට පත්වෙලා තියෙනවා. විශේෂයෙන්ම ජලාශ වාන් දොරටු සියල්ලම වසා දමා ඇති බව ජලාශ බාර ඉංජිනේරුවරු පවසයි. පීඩාවට පත් පවුල් 1317ක පුද්ගලයින් 5200ක සංඛ්‍යාවක් පීඩාවට පත්වෙලා ඊයේ වනවිට. පුද්ගල මරණ 07ක් වාර්තා වුණා. සුරියවැව ප්‍රදේශයේ ත්‍රිවිලරයක් මතට ගසක් කඩා වැටීම හේතුවෙන් මරණ කිහිපයක් වාර්තා වෙලා තියෙනවා. පුද්ගල මරණ 07ක් වාර්තා වෙලා තියෙනවා. නිවාස පූර්ණ හානි අටකුත්, නිවාස අර්ධ හානි 825කුත් මේ වනවිට අපිට වාර්තා වෙලා තියෙනවා. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර 28ක් හා අර්ධ හානි සිදුවෙලා. ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය මේ වනවිට එම තක්සේරු කටයුතු දිස්ත්‍රික් ලේකම්තුමන්ලා, ප්‍රාදේශීය ලේකම්තුමන්ලා සමඟ ආරම්භ කරමින් අවශ්‍ය පරිදි ඒ සහන ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙමින් පවතිනවා. කෙසේ වෙතත්, යම් ගැටලුකාරි තත්වයකදී අපි සෑම ස්ථානයකදීම ඉල්ලා සිටිනවා මුලින්ම තමන්ගේ නිවාස හෝ යම් ස්ථානයක් හානි වූ විට ග්‍රාම නිලධාරිතුමා හමුවී ඉන් පසු අවශ්‍ය ලියකියවිලි ලබාදීමෙන් පසු සහන ලබාදීමේ ක්‍රියාවලිය ආරම්භ වනවා.
    117 දුරකතන ඇමතුමක් ලබාදෙන ලෙස සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම ආරක්‍ෂිත ස්ථාන 4ක් දිවයින පුරා පුද්ගලයින් 341 දෙනෙක් මේ වනවිට වාර්තා වුණා. ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය මගින් සහන වැඩපිළිවෙළවල් එම ආරක්ෂිත ස්ථානයන් පුරා සිදුකරනු ලැබුවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් මේ වනවිට ලබාදී ඇති රතු නිවේදනයන් ඊයේ රාත්‍රී ලබාදුන්නා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ ප්‍රදේශයට රතු නිවේදනයන් ලබාදීලා තියෙනවා. අවදානම් නිවේදන නිකුත් කරලා තියෙනවා අඹගමුව සහ නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට.
    රත්නපුර දිස්ත්‍රික්කයේ ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට රතු නිවේදනය ලබාදිලා තියෙනවා. මහනුවර දිස්ත්‍රික්කයේ උඩපළාතට රතු නිවේදනය නිකුත් කරලා තියෙනවා. ඒ වගේම කලුතර, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලට අවදානම් නිවේදනය නිකුත් කරලා තියෙනවා. රතු නිවේදනය ලබාදී ඇති තැන්වලින්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය කලින් හඳුනාගත් අවදානම් ප්‍රදේශවලින් ඉවත්ව සිටිම වඩා වැදගත් වනවා. මේ පිළිබඳ අවබෝධයක් ඇතිකරගන්න. අවට පරිසරයේ ගස් ඇලවී ඇත්නම්, අවදානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

    මාතර දිස්ත්‍රික්කයට බලපෑ දැඩි සුළං තත්වය හේතුවෙන්, නිවාස 74කට හානි සිදුව ඇති බව, මාතර ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කරයි. හක්මන, කඹුරුපිටිය, කොටපොළ, දෙවිනුවර, අකුරුස්ස ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවලට ඉන් වැඩි හානියක් සිදුව තිබේ. ගිනිගත්හේන නගරයේ නායගිය වෙළෙඳසැල් 10ට අමතරව තවත් වෙළෙඳසැල් 22ක් නායයාමේ දැඩි අවදානමක පවතින බව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි. එම වෙළෙඳසැල් හිමියන්ට ඉවත්වීමට දැනුම් දී ඇති අතර, එසේ නොකරන ව්‍යාපාරිකයන්ගේ වෙළෙඳ බලපත්‍රය අහෝසි කිරීමට පියවර ගන්නා බව අඹගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති ජයසංඛ පෙරේරා මහතා ප්‍රකාශ කර සිටී.

    ගස් කඩා වැටීමෙන් ඇල්පිටිය, පිංළිඳ ප්‍රදේශයේ විදුලි රැහැන් හා දුරකතන පද්ධති බිඳ වැටී තිබේ. අප වාර්තාකරු පවසන්නේ ගමනා-ගමනයට ද බාධා එල්ල වී ඇති බවයි. ඊයේ රාත්‍රිය පුරා පැවති සුළඟින් මිණිපේ ගොවි ජනපදයේ නිවාස 2018කට හානි සිදුව ඇති බව, ප්‍රාදේශීය ලේකම්වරිය ප්‍රකාශ කළාය. හානි සිදුවූ ග්‍රාම නිලධාරී වසම් සංඛ්‍යාව 29ක්. ඉන් නිවාස 5ක් පූර්ණ වශයෙන් හානියට පත්ව තිබේ.

    කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් තවමත් විවෘතව පවතී. ඒ, කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ඉහළයාම හේතුවෙන්. ඊයේ රාත්‍රී මධ්‍යම කඳුකරය හරහා හමා ගිය දැඩි සුළඟකින් අධිබලැති විදුලි රැහැන් පද්ධතියට ගස් කඩා වැටී තිබේ. ප්‍රදේශ ගණනාවක විදුලිය විසන්ධි වූ බව අප වාර්තාකරු පවසයි.

    Last modified on සෙනසුරාදා, 20 ජූලි 2019 20:34

    Latest News