අගමැති දුලංජලීගේ ඉල්ලීම ඉටු කරයි

ජූලි 19, 2019

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මොණරාගල දිස්ත්‍රික්කයේ කළ සංචාරයේදී මඩුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ කලා අංශයේ දුලාංජලී දිසානායක සිසුවිය කළ ඉල්ලීම අනුව මාසික ශිෂ්‍යධාරයක් පිරිනැමිම ඊයේ සිදුකෙරිණ.

    දුලංජලීගේ මව කලක සිට අසාධ්‍ය පිළිකා රෝගයකින් පීඩා විදියි. මව රැක බලා ගැනීමට පූර්ණ කාලීනව කැපවිය යුතු බැවින් දුලාංජලීගේ පියාට ස්ථිර රැකියාවක නිරතවීමට ද නොහැකිය. මේ තත්වය නිසා දුලංජලීගේ අධ්‍යයන කටයුතු සඳහා ආර්ථික අපහසුතා රාශියක් උද්ගගත වී තිබේ.

    මේ පිළිබඳ අවධානය යොමු කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, රාජ්‍ය පරිපාලන ආපදා කළමනාකරණ සහ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා සමග ද සාකච්ඡා කොට දුලාංජලී ශිෂ්‍යාවගේ උසස් අධ්‍යාපනය අවසන් වන තෙක් මාසික ශිෂ්‍යාධාර ලබා දීමට වැඩ පිළිවෙලක් යොදන ලදී.

    අජිත ද කොස්තා මහතාගේ අනුග්‍රාහකත්වය යටතේ ඇයට ලබා දෙන මාසික ශිෂ්‍යාධාර වැඩ පිළිවෙල 18 වන දා කොළඹ අරලියගහ මන්දිරයේදී ආරම්භ කෙරිණි. උසස් පෙළ විභාගය සමත්ව විශ්ව විද්‍යාලයට තේරී පත් වන තුරු මෙම ශිෂ්‍යාධාර වැඩ පිළිවෙල ක්‍රියාත්මකවේ. විශ්ව විද්‍යාලයට තේරී පත් වීමෙන් පසුව ද මෙම ශිෂ්‍යාව වෙනුවෙන් උපකාර කිරීමට තමා වැඩ පිළිවෙලක් යොදන බව අජිත ද කොස්තා මහතා මෙහිදී පැවසියිය.

    මේ පිළිබඳව අදහස් පළ කළ මඩුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති ජේ.එම්. විජේරත්න මහතා.........

    "අද දිනය මට බෙහෙවින් වැදගත් වෙනවා. අද අපේ විද්‍යාලයේ දරුවෙකුට ශිෂ්‍යත්වයක් ප්‍රදානය කෙරුණා. ඒ වෙනුවෙන් අග්‍රාමාත්‍යතුමා විශේෂ අවධානයක් යොමු කළා. හැතැප්ම 40 කටත් වඩා දුර ගෙවමින් පැමිණි මේ දරුවා මඩුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ කලා අංශයෙන් උසස් පෙළ හදාරන්නේ විශාල අපහසුතා මධ්‍යයේයි. මෙම දැරියට අධ්‍යාපන කටයුතු පහසු කර ගැනීම වෙනුවෙන් ශිෂ්‍යත්වයක් ලබා දෙන්න යැයි අපි ඉල්ලීමක් සිදු කළා. ඒ අනුව එම ඉගෙනුම් කටයුතු සාර්ථක කර ගැනීමට මෙම ශිෂ්‍යත්වය අද දිනයේ ප්‍රදානය කළා. මෙම විශාල පරිත්‍යාගය වෙනුවෙන් මම අග්‍රාමාත්‍යතුමාට අපගේ ස්තුතිය පුද කර සිටිනවා.”

    මා වෙනුවෙන් කළ මෙම පරිත්‍යාගය පිළිබඳව කෘතඥතාවය පළ කරන බව දුලංජලී ශිෂ්‍යාව පැවසීය.

    "මාගේ මව අසනීප තත්වයකින් පසුවන නිසා මම විශාල අසරණ භාවයකට පත්ව සිටියා. එම නිසා මෙම ශිෂ්‍යාධාරය ලබා ගැනීමට අපේ පාසලේ විදුහල්පතිතුමා ගොඩක් උදව් උපකාර කළා. ඒ වෙනුවෙන් උපකාර කළ පාසල් ගුරු මෑණියන්ටත් මම ස්තුතිවන්ත වෙනවා. මෙවැනි උපකාරයක් කිරීම පිළිබඳව අපට වචනයෙන් කියා නිම කරන්නට බැහැ. ඒ වෙනුවෙන් මම අග්‍රාමාත්‍යතුමාටත් සියලූම කාර්ය මණ්ඩලයටත් ස්තුතිවන්ත වෙනවා”යැයි ඇය වැඩිදුරටත් පැවසීය.

    රාජ්‍ය පරිපාලන ආපදා කළමනාකරණ සහ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර, අනුග්‍රාහක අජිත ද කොස්තා සහ අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි යන මහත්වරුන්ද මේ අවස්ථාවට එක්වූහ.

    Last modified on සිකුරාදා, 19 ජූලි 2019 14:00

    Latest News