සුළං තත්ත්වය තවදුරටත් - ප්‍රදේශ රැසකට ආපදා

ජූලි 19, 2019

    දිවයින හරහා සහ දිවයිනට වටා වන මුහුදු ප‍්‍රදේශවල දැනට පවතින අධික වැසි සහ තද සුළං තත්ත්වය තවදුරටත් අපේක්‍ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    මධ්‍යම සහ සබරගමුව පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ති‍්‍රක්කවල දැනට පවතින වැසි තත්ත්වය අද දිනයේද අපේක්‍ෂා කළ හැකි බවයි, එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

    ඒ අනුව දකුණ, මධ්‍යම, සබරගමුව, වයඹ සහ උතුරු මැද යන පළාත්වල මෙන්ම ති‍්‍රකුණාමලය දිස්ති‍්‍රක්කයේ විටින් විට හමන පැයට කිලෝමීටර් 70 ත් 80 ත් දක්වා වන ඉතා තද සුළං ඇති විය හැකියි.

    මේ අතර, මධ්‍යම සහ සබරගමුව පළාත්වල මෙන්ම කළුතර, ගාල්ල සහ මාතර යන දිස්ති‍්‍රක්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර සියයත් 150 ත් අතර තද වර්ෂාපතනයක් අපේක්‍ෂා කළ හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටී.

    වයඹ පළාතේ මෙන්ම කොළඹ සහ ගම්පහ යන දිස්ති‍්‍රක්කවල ඇතැම් ස්ථානවල මිලිමීටර් 75 ක තරමක තද වර්ෂාපතනයක් ද අපේක්‍ෂා කළ හැකියි.

    මේ අතර මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය වැඩිවීම හා මුහුදු ප‍්‍රදේශ රළුවීම හේතුවෙන් ලබන 20 වැනි දින පෙරවරුව තෙක් ධීවර සහ නාවික කටයුතු වලින් වළකින ලෙසයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

    Latest News