නවෝත්පාදන බිහි කරණ සමාගම්වලට බදු සහන

ජූලි 18, 2019

    දැනුමෙන් දියුණු ජාතියක් වශයෙන් අතීතයේ කටයුතු කළාක් මෙන් මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයට නවීන දැනුම හා තාක්ෂණය මුසුකරමින් නැවතත් ශ්‍රී ලංකාව ලොව දැනුමෙන් දියුණු රටක් බවට පත් කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ වෙනුවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රය නවීකරණය කරමින් පරිගණක අධ්‍යාපනය ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකර ඇති බව අද (18) "ශිල්පසේනා" ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේය.

    හතර වන කාර්මික විප්ලවයට සූදානම් රටක් ලෙස ඉදිරියෙන් සිටීමට නව තාක්ෂණය සමඟ ගමන් කරමින් ලෝක වෙළඳපොළ තුළ ප්‍රමුඛස්ථානයක් ලබාගත යුතු බව ද වික්‍රමසිංහ මහතා මෙහිදී පැවසීය.
    "ශීල්පසේනා" ප්‍රදර්ශනය අද (18) සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ දී ආරම්භ කෙරිණ. නවෝත්පාදන බිහි කිරීමට කටයුතු කරන සමාගම්වලට බදු සහන ලබාදීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය මගින් මෙම ශිල්ප සේනා ප්‍රදර්ශනය සංවිධානය කරයි.

    අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා.....
    “රටක් ඉදිරියට ගමන් කිරීමට නම් තොරතුරු තාක්ෂණ දියුණුව මගින් පමණක් සෑහීමකට පත් නොවී කෘතිම බුද්ධිය වැනි අනාගත තාක්ෂණයන් සමඟ කටයුතු කළ යුතුයි. සංචාරක ව්‍යපාරය විද්‍ය තාක්ෂණය ඔස්සේ ඉදිරියට ගෙන යාමට අපි සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා මූලික වශයෙන් අධ්‍යාපනය ගොඩනැගිය යුතුයි. මේ සියලූ දේ සිදුකිරීමට පෙර ග්‍රාමීය යටිතල පහසුකම් ලබාදිය යුතුයි. ග්‍රාමීය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට ගම්පෙරළිය, එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැනි වැඩසටහන් හරහා පියවර ගෙන තිබෙනවා“.

    පසුගිය වසර හතරක කාලය තුළ දී ලොව නවෝත්පාදන බිහිකරන රටවල් අතරින් ශ්‍රී ලංකාව ස්ථාන හතරක් ඉදිරියට පැමිණෙමින් අසු අට වන ස්ථානයට පත්වීමට හැකිවී තිබෙන බව විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සූජිව සේනසිංහ මහතා පැවසියිය. එය 70 වන ස්ථානය දක්වා ඉදිරියට ගෙන යා යුතු බව ඔහු පෙන්වා දුනී. රට තුළ සිදුවන ශක්තිමත් වැඩපිළිවෙල හේතුවෙන් වෙළදාම් කිරීමේ හැකියාව අනුව ශ්‍රී ලංකාව එකසිය දහ වන ස්ථානයේ සිට අනු අට වන ස්ථානය දක්වා ඉහලට පැමිණ ඇති බව ද සේනසිංහ මහතා සඳහන් කළේය.
    මෙම අවස්ථාවට ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍ය දයා ගමගේ, සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, අභ්‍යරන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජේ. සී. අලවතුවල, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආශු මාරසිංහ, චමින්ද විජේසිරි, සුජිත් සංජය පෙරේරා, කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

     

     

     

     

     

     

    Latest News