වසර 115කට පසු මහව-ඕමන්ත දුම්රිය මාර්ගය ඉඳි කෙරේ

ජූලි 18, 2019

    වසර 115කට පසු මහව සිට ඕමන්ත දක්වා දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම අලුතින් ඉදි කෙරේ.

    ඒ සඳහා වන ගිවිසුමට කොළඹ දී අද (18) අත්සන් තැබිණ. ඒ ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන්. උතුරු දුම්රිය මාර්ගයේ මහව සහ ඕමන්තේ අතර දුර කිලෝ මීටර 133ක්. මහව සිට අනුරාධපුරය දක්වා කොටස 1904 වසරේදී ඉදිකර ඇති අතර, අනුරාධපුර සිට ඕමන්ත දක්වා කොටස 1905 දී ඉදි කර තිබේ. එතැන් සිට දුම්රිය මාර්ගයේ මහා පරිමාණ කිසිදු සංවර්ධනයක් මෙතෙක් සිදුකර නොමැත.

    එම නිසා මහව සහ ඕමන්ත අතර කොටසේ දුම්රිය ධාවනය කිරීමට සිදුව ඇත්තේ, ඇතැම් විට පැයට කිලෝමීටර 40 කටත් වඩා අඩු වේගයෙන්. එම කොටසෙහි දුම්රිය ධාවනයට පැය තුනකට අධික කාලයක් ගතවේ. රජය, මහව සහ ඕමන්ත අතර දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම අලුතින් සකස් කිරීමට පියවර ගෙන ඇත්තේ, මෙම තත්වය සැලකිල්ලට ගනිමින්. ව්‍යාපෘතියට වැය වන මුදල අමෙරිකානු ඩොලර් මිලියන 91.2ක්. එය ඉන්දීය ණය ආධාර යටතේ ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.

    මාර්ගයට අමතරව, දුම්රිය ස්ථාන 12ක්, නැවතුම් පොළ 07ක්, නව සංඥා පද්ධතියක් සහ මහනුවර-යාපනය මාර්ගය ආසන්නව නව දුම්රිය ස්ථානයක් ඉදිකිරීම ද සැලසුමට ඇතුළත්. ව්‍යාපෘතිය නිම වීමෙන් පසු නව දුම්රිය මාර්ගයේ පැයට කිලෝ මීටර 120ක වේගයෙන් දුම්රිය ධාවනය කිරීමට හැකියාව පවතී. ව්‍යාපෘතියට අදාළ ගිවිසුමට අත්සන් තබන ලද්දේ, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් එල්.ජී.ජයම්පති සහ ඉන්දියාවේ ඉර්කෝන් සමාගමේ සභාපති එස්.කේ.චෞද්රි යන මහත්වරුන් විසින්. අදියර 2ක් යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතිය වසර 03කින් නිම කිරීමට අපේක්‍ෂිතයි. 

    Last modified on බ්‍රහස්පතින්දා, 18 ජූලි 2019 20:20

    Latest News