සංහිඳියා ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට ජපානයේ සහය

ජූලි 18, 2019

    ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර, පුනරුත්ථාපන, ප්‍රතිසංස්කරණ හා සංහිඳියා ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා අඛණ්ඩව සහය ලබාදීමට සූදානම් බව, ජපාන රජය පවසයි.

    ඊට අදාළ ගිවිසුමකට කොළඹ ජපාන තානාපති නිල නිවසේදී අද අත්සන් තැබිණ. ගිවිසුමට අත්සන් තබන ලද්දේ මෙරට ජපාන තානාපති අකිරා සුගියාමා සහ මානව සංවර්ධන ආයතන ව්‍යාපෘති අධ්‍යක්‍ෂ ජේසු රාසා අමිර්තරාජ් යන මහත්වරුන් විසින්. ජපාන රජය බිම් මට්ටමේ මානව ආරක්‍ෂණය සඳහා වන ව්‍යාපෘතිය යටතේ කිලිනොච්චි ප්‍රදේශයේ පාසලක නව ගොඩනැගිලි 2ක් ඉදිකිරීම සඳහා මේ යටතේ රුපියල් එක්කෝටි හතළිස් හත් ලක්‍ෂයක් ලබාදී තිබේ. ඒ නැවත පදිංචි කරවනු ලැබූ පවුල්වල දරුවන්ගේ අධ්‍යාපන පහසුකම් නැංවීමේ අරමුණින්. මෙහිදී අදහස් පළ කළ ජපාන තානාපති...

    (ශ්‍රී ලංකාවේ උතුර, නැගෙනහිර ප්‍රදේශවල පුනරුත්ථාපන හා සංහිඳියා ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට ජපාන රජය ඉතා උනන්දුවෙන් පියවර ගෙන තිබෙනවා. එම ව්‍යාපෘතියට අමතරව කිලිනොච්චි ප්‍රදේශයේ බෝම්බ ඉවත් කිරීමේ මානුෂවාදී ක්‍රියාවලියත් ජපාන ආධාර යටතේ සිදු වන බව පෙන්වා දෙන්න කැමතියි. අප ඉතා සතුටු වනවා එම කටයුතුවලට සම්බන්ධවීමට හැකිවීම ගැන)

    මේ අතර, රාජ්‍ය අංශයේ මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා රුපියල් කෝටි 42ක් ලබාදීමට ද ජපානය එකඟතාව පළ කර තිබේ. ඊට අදාළ හුවමාරු පත්‍ර අත්සන් කිරීම මුදල් අමාත්‍යාංශයේ දී ඊයේ සිදු කෙරිණ. රාජ්‍ය අංශයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට ජපානයේ පිළිගත් විශ්වවිද්‍යාලයක දී පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරීමේ අවස්ථාව ලබාදීම ආරම්භ කෙරුණේ 2010 වසරේදී. මෙය, 2021 දක්වා ක්‍රියාත්මකයි.

    Latest News