හේමසිරිට හා පූජිතට ඇප ලබාදීමට එරෙහි ප්‍රතිශෝධන පෙත්සමක්

ජූලි 18, 2019

    හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දරට කොළඹ  ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබාදීමට එරෙහිව නීතිපති විසින් ප්‍රතිශෝධන අයඳුම්පතක් කොළඹ මහාධිකරණයට අද ඉදිරිපත් කර තිබේ.

    හේමසිරි ප්‍රනාන්දු මහතාට හා පූජිත් ජයසුන්දර මහතාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් පසුගිය 9වැනිදා ඇප නියම කෙරිණ.

    පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීමේ චෝදනාව යටතේ අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත ජයසුන්දර යන මහත්වරුන් ඇප මත මුදාහැරීම නීතිවිරෝධී, අයුක්ති සහගත, අසාධාරණ සහ අත්තනෝමතික බව නීතිපති දප්පුල ද ලිවේරා කොළඹ මහාධිකරණයට ගොනු කළ ප්‍රතිශෝධන අයදුම්පතේ සඳහන් වෙයි. මෙම ඇප නියම කිරීමේ නියෝගය අනූව මහේස්ත්‍රාත්වරිය නීතිය වැරදිලෙස වටහා ගැනීම හා නීතියට පටහැනිව කටයුතු කිරීම යන කාරණා යටතේ ප්‍රතිශෝධන පෙත්සම නීතිපති විසින් මහාධිකරණයට ඉදිරිපත් කළ බව නිවේදනයක් නිකුත් කරමින් නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය කියා සිටි.

    ඉදිරිපත්ව ඇති සිද්ධිමය කරුණු අනූව ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 296 වැනි වගන්තිය යටතේ මිනීමැරීමේ චෝදනා ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් බැහැර කිරීම නීති විරෝධී බව ද එම ප්‍රතිශෝධන පෙත්සමේ සඳහන් වෙයි. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම ජනාධිපති විසින් පත්කළ කමිටු වාර්තාවට අනූව, සිදුකළ බවට මහේස්ත්‍රාත්වරිය කළ ප්‍රකාශය ද වැරදි සහගත බව, එහි සඳහන් වෙයි.

    හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අත්අඩංගුවට ගැනීම පොලිස් විමර්ශන අනූව ප්‍රකාශ 42කට අධික සංඛ්‍යාවක් අවධානයට ලක්කිරීමෙන් හා ඊට අදාළ ලිඛිත සාක්ෂි අනූව සිදුකර ඇති බව ද අද මහාධිකරණයට ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමින් පෙන්වා දී තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 18 ජූලි 2019 15:53

    Latest News