ජපානයෙන් ආචාර්ය උපාධිය ගන්න අවස්ථා 2ක්

ජූලි 18, 2019

    මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව සඳහා වන ජපන් රජයේ ආධාර වැඩසටහන යටතේ ආචාර්ය උපාධි පාඨමාලාවන් හැදෑරීම සඳහා උපරිම වශයෙන් වාර්ෂිකව අවස්ථා දෙකක් පිරිනැමීමට ද ජපාන රජය එකඟත්වය පළකර  තිබේ.

    මෙම වැඩසටහන යටතේ ප්‍රතිලාභ ලබා ගන්නා රාජ්‍ය නිලධාරීන් මෙරට සමාජ හා ආර්ථික සංවර්ධනය සඳහා වඩාත් එලදායී ලෙස හා ආත්ම විශ්වාසයෙන් යුතුව සිය දායකත්වය ලබා දෙන අතර මෙම රටවල් දෙක අතර දැනට පවතින ද්වීපාර්ශ්වික සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ද මෙම වැඩසටහන මඟින් දායකත්වය ලබාදෙනු ඇතැයි ශ්‍රී ලංකා රජය අපේක්ෂා කරයි.

    මෙම වැඩසටහන ක්‍රියාවට නැංවීම උදෙසා දෙරට අතර  හුවමාරු පත්‍ර 02 ක් අත්සන් කිරීම හා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය සමඟ ප්‍රදාන ගිවිසුමකට එළඹීම පසුගිය 17 වැනිදා මුදල් අමාත්‍යාංශයේදී සිදු කෙරිණ.

    ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආර් එච් එස් සමරතුංග මහතාද ජපාන රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා  සුගියාමාමහතා හා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය වෙනුවෙන් එහිප්‍රධාන නියෝජිත ෆුසාතෝටනකා මහතාවිසින් අදාළ ලියකියවිලි වලට අත්සන් තබන ලදී.

    මුල්වරට හඳුන්වා දුන්නේ 2010 දී......

    රාජ්‍ය අංශයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්හට ජපානයේ පිළිගත් විශ්වවිද්‍යාලයන්හිදී පශ්චාත් උපාධි පාඨමාලාවන් හැදෑරීමේ අවස්ථාව ලබාදීම සඳහා 2010 වසරේදී ජපාන රජය විසින්  මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව සඳහා වන ජපාන ආධාර වැඩසටහන ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදි.

    ඒ අනුව, මෙම වැඩසටහනෙහි පළමු කාර්යරාමුව (2010 - 2013) සහ දෙවන කාර්යරාමුව (2014 -2017) පිළිවෙළින් 2013 හා 2017 වසරවලදී සාර්ථකව අවසන් කරන ලදි. මෙම වැඩසටහන ඉදිරියට වසර 04 ක් පුරා අඛණ්ඩව පවත්වා ගෙන යාම සදහා තුන්වන කාර්යරාමුව (2018 - 2021) 2018 වසරේදී ආරම්භ කරන ලදී. ඒ අනුව මෙම වැඩසටහන යටතේ මේ දක්වා පශ්චාත් උපාධි පාඨමාලාවන් හැදෑරීම සඳහා අවස්ථා 150ක් හා ආචාර්ය උපාධි පාඨමාලාවන් හැදෑරීම සඳහා අවස්ථා 04ක් ලබා දී ඇත.

     තෝරාගත් දෙවැනි කණ්ඩායමේ අධ්‍යයන සැප්තැම්බර් ඇරඹේ....

    තුන්වන කාර්යරාමුවේ දෙවන කණ්ඩායමෙහි තෝරා ගැනීමේ ක්‍රියාවලිය මේ වන විටත් අවසන් වී ඇති අතර තෝරා ගත් නිලධාරීන් 2019 සැප්තැම්බර් මසදී ඔවුන්ගේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට නියමිතයි. මෙම නිලධාරීන්හට පහසුකම් සලසාදීම සඳහා 2019 වසරේ දී ජපාන රජය විසින්  ශ්‍රී ලංකාවට ජපන් යෙන් මිලියන 263ක (ආසන්න වශයෙන් රුපියල් මිලියන 420ක) ආධාරයක්  ලබාදීමට එකඟවී ඇති බවයි, මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 18 ජූලි 2019 11:11

    Latest News