‘ශිල්ප සේනා ප්‍රදර්ශනය’ අගමැති අතින් අද විවෘත වෙයි

ජූලි 18, 2019

    තාක්ෂණික විප්ලවයක් රට තුළ ඇති කරමින් දළ දේශීය ආදායම ඉහළ නැංවීමට දායකත්වය ලබාදෙන ව්‍යවසායකයන් දැයට දායක කිරී‌මේ 'ශිල්ප සේනා ප්‍රදර්ශනය' අද (18) අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී විවෘත වන බව විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ ඇමැති නීතිඥ සුජීව සේනසිංහ මහතා පවසයි.

    නිවාස හා ඉදිකිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස මහතා සහ කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මිය මෙම අවස්ථාවට සහභාගීවීමට නියමිතයි.

    අමාත්‍ය නීතීඥ සුජීව සේනසිංහ මහතා ප්‍රකාශ කළේ දිරිමත් ව්‍යවසායකයකු ලෙස වෙළෙඳපොළ අවස්ථාව ලබාගනිමින් ‍තම ආදායම සරු කර ගෙන රට සංවර්ධනයට දායකත්වයක් දැක්වීමට අවස්ථාව සලසා ගැනීමට ප්‍රදර්ශනය නැරඹීමට එක්වන ලෙස ප්‍රජාවගෙන් විවෘත ආරාධනයක් කරන බවයි.

    අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ ඊයේ (17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදීය. අධීක්ෂණ මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා ද මෙම අවස්ථාවට එක් විය. මෙම 21 වැනි දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශිල්ප සේනා ප්‍රදර්ශනය නිමා වෙයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 18 ජූලි 2019 09:18

    Latest News