ලංගම උසස්වීම් සහ වැටුප් වර්ධකවලට තහනම් නියෝගයක්

ජූලි 17, 2019

    කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතියක් නොමැතිව ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයින්ට උසස් වීම් හා වැටුප් වර්ධන ප්‍රදානය කිරීම වලක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

    එම නියෝගය අගෝස්තු මස 29 දා දක්වා බල පැවැත්වෙන බව ද ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් නිකුත් කළ නියෝගයේ සඳහන් වේ.

    ශ්‍රී ලංකා නිදහස් ජාතික සේවක සංගමය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමෙන් පසුවයි අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

    පෙත්සම්කාර වෘත්තීය සමිතිය අධිකරණය හමුවේ කියා තිබුණේ ලංකා ගමනාගමන මණ්ඩලය තුළ ඇතැම් සේවකයින්ට සම්මත පටිපාටියට පරිභාහිරව උසස්වීම් හා වැටුප් වර්ධක ලබා දීම හේතුවෙන් තම සංගමයට පමණක් නොව සෙසු සේවකයින්ට ද දැඩි අසාධාරණයක් සිදුව ඇති බවයි.

    මේ තුලින් සිය මූලික අයිතීන් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් සම්මත පටිපාටියට පරිභාහිරව සිදුකෙරෙන උසස් කිරීම් හා වැටුප් වර්ධක ලබා දීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

    එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ලංකා ගමනාගමන මණ්ඩලය, එම මණ්ඩලයේ සභාපතිවරයා, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව සහ නීතිපති ඇතුළු පිරිසක් නම් කර ඇත.

    Latest News