කාසල්රි ජලාශයට මත්ස්‍ය පැටවුන් 75,000 ක්

ජූලි 11, 2019

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහනට සමගාමීව කාසල්රි ජලාශයට මිරිදිය මත්ස්‍ය පැටවුන් හැත්තැ පන්දහසක් මුදාහැරීම අද (11) පෙරවරුවේ සිදු විය.

    නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ ප්‍රෝටින් මන්දපෝෂණ තත්ත්වය අවම කිරීම, මිරිදිය මත්ස්‍ය අස්වැන්න සුලභ කිරීම සහ පරිභෝජනය ඉහළ දැමීම යන අරමුණින් සිදු කරන මෙම ව්‍යාපෘතිය සඳහා ජනාධිපති කාර්යාලය මගින් රුපියල් මිලියන 16ක ප‍්‍රතිපාදන ජාතික ජලජ ජීවි වගා සංවර්ධන අධිකාරිය වෙත ලබා දී ඇත. මෙම ව්‍යාපෘතිය යටතේ මේ වසර තුළ අදියර තුනකින් කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවලට සහ තේ වතුවල පොකුණු ජලාශවලට මිරිදිය මත්ස්‍ය පැටවුන් සහ ඉස්සන් පැටවුන් ලක්ෂ 16ක් මුදා හැරීමට නියමිතව තිබේ. කාසල්රි ජලාශයේ ධීවරයන් 62 දනෙකු ධීවර කර්මාන්තයේ යෙදී සිටින අතර එම ධීවරයන්ගේ සුබසාධන කටයුතු ඉහළ නැංවීමට ද මේ වන විට කටයුතු කර තිබේ.


    මාවුස්සාකැලේ ජලාශයේ ධීවර කර්මාන්තයේ නියැලි සිටින ධීවරයන්ගේ නිවාස අලූත්වැඩියා කර ගැනීම සඳහා රුපියල් පනස්දහස බැගින් වූ චෙක් පත් ප‍්‍රදානය කිරිමක් ද මෙහිදී සිදු වූ අතර, කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ධීවරයන් වෙනුවෙන් දැල් ආම්පන්න ලබා දීම ද මෙම ව්‍යාපෘතියට සමගාමීව සිදු කෙරිණි.

    ජනාධිපති කාර්යාලයේ තිරසර සංවර්ධන අංශයේ නිලධාරින් සහ නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම්, අඹගමුව ප‍්‍රාදේශීය ලේකම් ඇතුළු නිලධාරින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

    Latest News