ශ්‍රී ලාංකික අභ්‍යවකාශ ක්ෂේත්රයේ ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් “රාවණා 01“ චන්ද්‍රිකාව අප්‍රේල් 18 උඩුගුවනට යැවිණි. එය නිර්මාණය කර ඇත්තේ ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් දෙදෙනෙකු වන තරිඳු දයාරත්න සහ දුලානි චාමිකා විසිනි. ඔවුන් දෙදෙනා මේ වන විට ජපානයේ පශ්චාත් උපාධිය හදාරමින් සිටිති. තායිලන්තයට ගොස් විද්‍යුත් යාන්ත්‍රික ඉන්ජිනේරු තාක්ෂණය හදාරා ඇති දුලානි චාමිකා විතානගේ, පසුව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ සේවයට එක් වී තිබේ. එමෙන්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් විදුලි සහ විද්‍යුත් ඉන්ජිනේරු උපාධිය හදාරා ඇති තරිඳු දයාරත්න, ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂණ ඉන්ජිනේරුවරයෙකු ලෙස සේවය ආරම්භ කර ඇත.
ඒ අනුව මෙම චන්ද්‍රිකා ව්‍යාපෘතිය සඳහා ඔවුන්ට ජපානයේ කියුෂු තාක්ෂණ ආයතනයේ සහ නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ සහය ලැබී තිබේ.
සිග්නීස් 01, අභ්‍යවකාශ යානය ආධාරයෙන් "රාවණා1" චන්ද්‍රිකාව ගුවන්ගත කෙරුණේ, අමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ, මධ්‍ය අත්ලාන්තික් ප්‍රාදේශීය අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙනි. ප්‍රමාණයෙන් කුඩා ඝනක චන්ද්‍රිකාවක් වන “රාවණා 01“ ඝන සෙන්ටිමීටර දහසක පරිමාවකින් යුක්ත වන අතර බර කිලෝ ග්‍රෑම් 1.1 ක් වේ. ඝනක චන්ද්‍රිකාවක් යනු විශාල ප්‍රමාණයේ චන්ද්‍රිකාවක් (Classical Satellite) නොවන අතර ප්‍රමාණයෙන් කුඩා චන්ද්‍රිකාවකි. මෙවැනි චන්ද්‍රිකා නිර්මාණය කිරීමට මෙන් ම කක්ෂගත කිරීමට ද වැය වන මුදල සාපේක්ෂව ඉතා අඩු මට්ටමක පවතී.
අප්‍රේල් 18 ශ්‍රී ලංකාවේ වේලාවෙන් උදෑසන 2.16ට ගුවන් ගත කෙරුණු යානය, අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ළඟාවූයේ අප්‍රේල් 20 වැනිදාය.
අන්තර් ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට චන්ද්‍රිකාව කක්ෂගත කෙරෙන්නේ පෘථිවියට කිලෝමීටර 400ක් දුරින් පිහිටි කක්ෂයක් වෙතයි. තත්පරයට කිලෝමීටර 7.6ක වේගයෙන් භ්‍රමණය වන චන්ද්‍රිකාව, දිනකට 15 වතාවක් පෘථිවිය වටා ගමන් කිරීමට නියමිත බව වාර්තාවේ. ශ්‍රී ලංකාව සහ අවට කලාපීය රටවල ඡායාරූප ලබාගැනීම, ලෝරා මොඩියුල් නමැති නව දත්ත බාගත කිරීමේ මෘදුකාංගය අත්හදා බැලීම හා කක්ෂගත කිරීමෙන් පසු චන්ද්‍රිකාව තමන් වටා කැරකෙන වේගය අඩු කිරීම (active attitude stabilization) පිළිබඳ අත්හදා බැලීම චන්ද්‍රිකාවේ ප්‍රධාන කාර්ය වේ. පෘථිවි චුම්භක ක්ෂේත්රය පිළිබඳ අධ්‍යයනය කිරීම සහ චන්ද්‍රිකා සඳහා දෘඩාංග වෙනුවට මෘදුකාංග අත්හදා බැලීම “රාවණා 01“ මගින් අපේක්ෂිත තවත් කාර්යයන් වේ. චන්ද්‍රිකාවේ ආයු කාලය වසර 01 1/2 - 05 අතර වන බව, එහි නිර්මාපකයින් පවසා ඇත.