ආගම්වාදය, ජාතිවාදයෙන් අන්තවාදය මතුවන්න පුළුවන් ඒක නොවන්න රිෂාඩ්ගේ චෝදනා සොයනවා (වීඩියෝ)

මැයි 25, 2019

    සිවිල් සමාජ සහ වෘත්තීය සමිති එකතුවේ නියෝජිත පිරිසක් අද (25) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයෙන් එතුමා මුණගැසී සාකච්ඡාවක කර තිබේ. 

    පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව රටේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව සහ එම ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත්වීම පිළිබඳව දේශපාලනික සහ ආයතනික වගකීම පිළිබඳව සිවිල් සමාජ සහ වෘත්තීය සමිති නියෝජිතයෝ අග්‍රාමාත්‍යවරයාගෙන් කරුණු විමසූහ.

    මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කර ඇති බවත්, එහි කටයුතු මජනතාවට දැනගැනීම පිණිස ජනමාධ්‍ය වෙත විවෘත කිරීමට කථානායකතුමන් එකඟ වී ඇති බවත් මෙහිදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    මෙම සාකච්ඡාවට පූජ්‍ය දඹර අමිල නා හිමි, ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර, මහාචාර්ය එච්, ඩබ්ලිව. සිරිල්, ආචාර්ය ජෙහන් පෙරේරා, සමන් රත්නප්‍රිය, සුනිල් ද සිල්වා, පිලිප් දිසානායක, රාජා උස්වැටකෙයියාව, නීතිඥ නාමල් රාජපක්ෂ ඇතුළු පිර්සක් සහභාගි වූහ.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා “පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පස්සේ රට සාමාන්‍ය තත්වයකට ආවා..අවාසනාවකට පසුගිය 13 වැනිදා කුලියාපිටිය,බිංගිරිය,මිනුවන්ගොඩ වගේ ප්‍රදේශවල සංවිධානාත්මක අපරාධ ක්‍රියා සිදුවුණා. දැන් ඒ වැරදිකරුවනුත් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා..රට සාමාන්‍ය තත්වයේ පවතිනවා..අපි රාමසාන් උත්සවයත් සිකුරාදා මුස්ලිම් පල්ලිවල කටයුතුත්, ඉරිදා පල්ලිවල යාඥා දේව මෙහෙයන් පවත්වනු ලැබුවා..ඉතා සාර්ථකව විහාරස්ථානවල වෙසක් පොහොයත් සමරන්න හැකිවුණා..

    පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ජීවතුන් අතර ඉන්න සියළුම පිරිස් හඳුනාගෙන අත්අඩංගුවට ගෙන තිබෙනවා..ඒ වගේම ප්‍රශ්න කිරීම් සිදුවෙනවා..අපි දැන් ඒ අයට විරුද්ධව නඩු දැමීමේ කටයුතුත් නීතිපතිතුමා ක්‍රියාත්මක කරනවා..අපි මේ සියළුදේවල් කළේ මාසයක් ගතවීමට පෙරයි..මට විදේශ ඔත්තුසේවා දැනුම් දුන්නා මේ වගේ කඩිනමින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම් ලෝකේ කෙහෙවත් සිදුවෙලා නැහැ..ඒ වගේම ඔවුන් ප්‍රකාශ කළේ ඒ සංවිධානවලට සම්බන්ධ ප්‍රධාන අය අත්අඩංගුවට ගැනීම හා අනාවරණය කර ගැනීමට අවම වශයෙන් මාස 3ක් හෝ 6ක් හෝ ගතවන බවයි..

    අපි දේශපාලනය ගැනත් මේ වෙලාවේ හිතන්න ඕන..ඒක අපි පිළිගන්න ඕන..ජනතාවගේ විශ්වාසය කැඩිලා තියෙන්නේ..ආණ්ඩුව කෙරෙහි විශ්වාසය කැඩිලා තියෙන්නේ..අපිට දොස් කියනවා..මෙහෙම තොරතුරු ඉන්දියාවෙන් ලැබුන අවස්ථාවේ දී ඇයි ක්‍රියාත්මක නොවුනේ කියලා..විශ්වාසය නැති වුන එක ආණ්ඩු පක්ෂයට සීමා වෙලා නැහැ..විපක්ෂයත් ජනතාවගේ තිබුණ විශ්වාසය කැඩිලා තියෙන්නේ..මට පේන එක දෙයක් තමයි මධ්‍යස්ථ මත තියන අයට දැන් ඉදිරියට එන්න අවස්ථාව තියෙනවයි කියන එක..අයිඑස් අයිඑස් ක්‍රියාත්මක සමහර මැදපෙරදිග රටවල එම සංවිධානයට ජනතාවගේ සහය තිබෙනවා..ලංකාවේ මුස්ලිම් ජනතාවගෙන් ඒ සංවිධානයට සහයෝගය නැහැ..අපි ගිහිල්ලා අන්තවාදී වැඩ කරලා මුස්ලිම් ජනතාවගේ සහයෝගය ඇතිකරන්න එපා..නැතිනම් අපි අන්තවාදය හෝ ආගම්වාදය හෝ ජාතිවාදය අදින්න ගිහින් අවසන් වෙන්න පුළුවන් අන්තවාදයෙන්ම..මේවගේ අත්දැකීමක් අපිට 1983 දී තියෙනවා..

    මේවා ගැන හොයන්න පුළුවන් සෑම දෙයක්ම සොයන්න ඕන..එකක්වත් හංගන්න අවශ්‍ය වෙන්නේ නැහැ..වැරදිකරුවන් ඉන්නවනම් ඔවුන්ට දඩුවම් දෙන්නත් ඕන..අහිංසක අය ඉන්නවනම් එළියට යන්න ඉඩදෙමු..මේ සතියේ අපි තීරණයක් ගත්තා මේ සිද්ධිය සම්බන්ධයෙන් තේරීම් කාරක සභාවක් පත්කරන්න..එහිදී මම කතානායකතුමාගෙන් ඉල්ලීමක් කළා පළමු සති දෙක තුල දී රිෂාඩ් බද්යුදීන් ඇමතිවරයා සම්බන්ධයෙන් වාර්තාවක් දෙන්න පුළුවන් කියලා..රිෂාඩ් බද්යුදීන් ඇමතිවරයා සම්බන්ධයෙන් එක එක චෝදනා මාධ්‍යයෙන් ඇවිත් ඉදිරිපත් වෙලා තියෙනවා..ඒවා සියල්ලම ඔහු විසින් ප්‍රතිකෂේප කර තිබෙනවා..ඒක නිසා රටටත් හොඳයි මේ පිළිබඳව ඉක්මනට විභාග කරනවානම්..කමිටුව පත්කරලා තියෙනවා..ඉතින් මම බලාපොරොත්තුවනවා මේ අතුරු වාර්තාව සති දෙකක් ඇතුළත ලැබේවි කියලා..එම අතුරු වාර්තාව අනූවත් අපට ක්‍රියාකරන්න යැයි ද අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේය.

    Last modified on සෙනසුරාදා, 25 මැයි 2019 23:45

    Latest News