ෂැංග්‍රිලා බෝම්බකරුගේ තඹ කම්හලේ සේවකයෙකුට සුපිරි සැලකිල්ලක්.......පැන සිටි තවත් අයෙක් මාට්ටු

මැයි 17, 2019

    ෂැංග්‍රිලා හෝටලයේ දී මරාගෙන මැරෙන බෝම්බකරුගේ වැල්ලම්පිටියේ තඹ කර්මාන්ත ශාලාවේ සේවක රාජේන්ද්‍රන් කරුපයියා අබ්දුල්ලා තවදුරටත් ලබන 30 වන දා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියම කළේය.

     කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ ඉන්සාෆ් අහමඩ් නමැත්තා සමඟ දැනට රිමාන්ඩ් භාරයේ පසුවන මෙම කරුපයියා රාජේන්ද්‍රන් අබ්දුල්ලා සමීප සබඳතා පවත්වා ඇති බව වැල්ලම්පිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා අධිකරණ වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේය. ඒ බව පරික්ෂණවලදී තාහුරුවි ඇති බව පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේ ස්ථානාධිපතිවරයා කියා සිටියේය.


    රාජේන්ද්‍රන් කරුපයියාගේ විවාහ මංගල්‍යයට රුපියල් ලක්ෂ දෙකක මුදලක් මරාගෙන මැරෙන බෝම්බකරුට ලබාදී ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවත් පොලිසිය සඳහන් කළේය.

    කරුපයියා සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 25 බැගින් වූ චෙක්පත් තුනක් පොලිසිය විසින් සොයා ගෙන තිබේ. වැල්ලම්පිටිය තඹ කම්හලේ අතුරුදන් වී සිටි සේවකයින් තිදෙනොගෙන් එක් සැකකරුවකු ඉකුත්දා මාවනැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවත් පොලිස් ස්ථානාධිපති අධිකරණයට දැනුම් දුන්නේ. පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළ එම සැකකරු ලබන 30 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට ද අධිකරණයෙන් නියම කෙරිණ.

    මේ අතර පොලිසිය විසින් කළ තවත් ඉල්ලීම් කිහිපයක් පිළිගත් මහේස්ත්‍රාත්වරයා දැනට ඇප මත මුදාහැර සිටින සැකකරුවන් නව දෙනෙකු විසින් බහුලව ඇමතුම් ලබා ගත් දුරකථන අංක දහයක් පිළිබඳව දුරකථන විස්තර ඇමතුම් වාර්තා කැඳවීමට ද පොලීසියට අවසර ලබාදුන්නේය. එමෙන්ම ඇප මත මුදාහැර සිටින එම සැකකරුවන්ගේ බැංකු ගිණුම් පිළිබඳ වාර්තාවක් කැඳවීමට ද මහේස්ත්‍රාත්වරයා පොලිසියට අවසර ලබා දුනී.

    Last modified on සිකුරාදා, 17 මැයි 2019 16:57

    Latest News