කොච්චිකඩේ බෝම්බකරුව පියා හඳුනා ගනී...... පියාගෙන් මාසිකව රු. 30000ක්

මැයි 14, 2019

    පාස්කු ඉරිදා, කොච්චිකඩේ පිහිටි ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයට බෝම්බ ප්‍රහාරය එල්ල කළ අලව්දීන් අහමඩ් මුවාත්ගේ මරණය සිදුවූ ආකාරය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියම කළේය. 

    බෝම්බකරුගේ පශ්චාත් මරණ පරික්ෂනය ඊයේ කැඳවූ අවස්ථාවේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබිණ.

    මියගිය බෝම්බකරුගේ පියා වු මට්ටක්කුලිය, මධ්‍යම පාරේ පදිංචි අහමඩ් ලෙබ්බේ අලව්දීන්ගෙන් සාක්ෂි සටහන් කර ගැනිම සිදුකෙරිණ.

    කොච්චිකඩේ, ශාන්ත අන්තෝනි දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බකරු තම පුතා ලෙසට හදුනා ගත් බව ඔහුගේ දෙමව්පියන් අධිකරණයට දන්වා සිටියේය. බෝම්බකරුවන්ගේ හිස කොටස නිරීක්ෂණය කළ පසු එය පුතාගේ සිරුර ලෙසට හදුනාගත් බව පියා ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියට දැනුම් දුන්නේය. සිය පුතා රැකියාවක් සිදු නොකළ බවත් ඔහු කියා සිටියේය. මියගිය 22 හැවිරිදි පුත්‍රයා නීතිය පිලිබද මුලික අධ්‍යාපනය අවසන් කර ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත් වීමට සුදුසුකම් ලබා සිටි බව ඔහු සාක්ෂි වශයෙන් කියා සිටියේය.

    සායින්දමරුදු ප්‍රදේශයේ පදිංචි සබීනා සෙනුල් ආබ්දීන් නමැති ඥාති දියණියක සමඟ ඔහු විවාහ වී සිටි බවත් පසුගිය අප්‍රේල් 14 වනදා කල්මුණේ යන බව පවසා නිවසින් පිටත් වූ බව ඔහු කියා සිටියේය. තවද තමා මසකට රුපියල් 30,000 ක මුදලක් තම පුතාට යැවීමට කටයුතු කළ බව පියා වැඩිදුරටත් පැවසුවේය. තම පුත්‍රයා මියයන තුරුම දුරකථන ඇමතුමක් හෝ තමන් වෙත ලබා නුදුන් බවත් සාක්ෂිකරු වැඩි දුරටත් කළා.

    ඉන් අනතුරුව මිය ගිය පුද්ගලයාගේ මව සහ ඥාතීන් දෙදෙනෙකු ද අධිකරණය හමුවේ සාක්කි ලබා දුන්නා. වැඩිදුර සාක්ෂි සටහන් කර ගැනීම ලබන 23 වනදාට කල් තැබිණ.

    Latest News