ගැටුම් ඇති කළ අයට දැඩි දඩුවම් දෙන්න.....ඇමැති අර්ජුන (වීඩියෝ)

මැයි 14, 2019

    මිනුවන්ගොඩ කලබලයට සම්බන්ධ සියලු දෙනාට තරාතිරම නොබලා දඩුවම් ලබා දෙන්නැයි ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ආරක්ෂ අංශවලින් ඉල්ලා සිටි.

    ඔහු එම ඉල්ලීම කළේ අද (14) මිනුවන්ගොඩ නගරයේ කළ නිරීක්ෂණ චාරිකාවකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

    “මේ රටට ඉතාමත් අවාසනාවන්ත සිද්ධි කිහිපයක් සිද්ධ වුණා 21 වැනිදා. මේ රටේ ජාත්‍යන්තර ත්‍රස්තවාදයක් ඇති වුණා. අපිට ඒක ඉතාමත් ඉක්මණින් විසඳගන්න පුළුවන් වුණා. ඒ අතර අපිට ලොකු ප්‍රශ්න වගයක් ඇති වෙන්න තිබුණා සඳුදා. අපේ පාසල්වලට බෝම්බ තියනවා කියලා කටකතා වගයක් ගියා. ඒකත් සමනය කරගන්න පුළුවන් වුණා. නමුත් එදා රෑ වෙනකොටම මේ වෙනම බලවේගයක් නීතිය අතට ගන්න හදනවා. ඒක ඇත්තටම දේශපාලනීයකරණය වෙච්ච දෙයක් කියලා පේන්න තියෙනවා. මං ඉතාමත් කරුණාවෙන් ඉල්ලා සිටිනවා මේ අපේ ළමයින්ගෙන් මේවට පැටලෙන්න එපා. ජාතිවාදය ඇවිස්සෙන කටයුතු කරන්න එපා. අපි අවුරුදු 30ක් දුක්වින්දා එදා කළු ජුලියත් එක්ක ඇතිවුණු ප්‍රශ්නවලින්. නැවත වරක් මේ ප්‍රශ්න ඇති කරන්න නම් එපා. මෙවැනි දේවල් මේ රටේ සිදු නොවිය යුතු දේවල්. ඒවායේ යටින් ඉන්න සියලු දෙනාට දැඩි දඩුවම් දෙන්න ඕන කියලා මම කියනවා. එක ජාතිකයක් හැටියට එකට ජීවත් වෙලා ඉතාමත් ඉක්මණින් මේ රට ගොඩනගන සංස්කෘතිය ඇති කරගන්න කියලත් මම ඉල්ලනවා. නමුත් මට කණගාටුයි කියන්න අපි දැක්කා සමහර දේශපාලකයෝ මේ වෙලාවේ කතා කරන්නේ වෙනම විදිහේ දේවල්. මේ වගේ අවස්ථාවක පිටරටවලදි වෙන්නේ ආණ්ඩුවයි විපක්ෂයයි ඔක්කෝම එකතුවෙලා රට වෙනුවෙන් වැඩ කරනවා. නමුත් අපි එහෙම නෙවෙයි. මේ තත්වය ඉක්මණට වෙනස් විය යුතුයි...”යි ද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කියා සිටියේය.

    මිනිසකුට පහර දීමට පෙර මිනිස් ජීවිතයක වටිනාකම ගැන දහස්වරක් සිතන්නැයි තමන් විවෘතව ඉල්ලා සිටින බවද ඔහු මෙහිදී වැඩිදුරටත් කීවේය. එම නිරීක්ෂණ චාරිකාවේදී අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ප්‍රදේශයේ ආගමික නායකයින්, දේශපාලනඥයින් මෙන්ම ආරක්ෂක අංශයේ ඉහළ නිලධාරීන්ද හමු වූහ. ප්‍රදේශයේ සාමාන්‍ය ජනතාව හමුවෙමින් ඔහු පැවසුවේ හැකිතාක් ඉවසීමෙන් කටයුතු කර ආරක්ෂක අංශවලට උපරිම සහාය ලබා දෙන ලෙසයි.

     

     

     

    Last modified on අඟහරුවාදා, 14 මැයි 2019 20:43

    Latest News