අවශ්‍ය අවස්ථාවක සහයට පොදු රාජ්‍ය මණ්ඩලය සූදානම්

නොවැ 07, 2018

    ශ්‍රී ලංකා රජයට හා ජනතාවට අවශ්‍ය සහයෝගය ලබා දීමට සූදානමින් සිටින බව, පොදු රාජ්‍ය මණ්ඩලය පවසයි.

    එහි මහ ලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය කියා සිටියේ, වත්මන් අර්බුදය නිමා කිරීම සදහා පාර්ලිමේන්තුව කඩිනමින් කැඳවීමට අවශ්‍ය බවයි.

    විශේෂ නිවේදනයක් නිකුත් කරමින්, පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය මේ බව කියා සිටියාය.

    ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුව මගින් අදාළ ගැටලු විසඳා ගැනීමේ වැදගත්කම ඇය එහිදී පෙන්වා දී තිබේ.

    ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ලබන 14 වැනිදා පාර්ලිමේන්තුව කැඳවීමට ගත් තීරණය ද ඇය පෙන්වා දුනි.

    සාකච්ජා මගින් ගැටලු විසඳා ගන්නා ලෙසත් නීතියේ ආධිපත්‍යයට ගරු කරන ලෙසත් සියලු දේශපාලන නායකයින්ගෙන් හා ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි, ඇය ප්‍රකාශ කර ඇත්තේ.

    සෙසු අන්තර්ජාතික සහකරුවන් සමඟ එක්ව පොදු රාජ්‍ය මණ්ඩලය, ශ්‍රී ලංකාවට අවශ්‍ය සහයෝගය ලබා දීමට සූදානමින් සිටින බව ද මහ ලේකම්වරිය කියා සිටී.

    Last modified on බදාදා, 07 නොවැම්බර් 2018 11:20

    Latest News