පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් වැටුන සංචාරක ව්‍යාපාරය ගොඩනගනවා..... ඊට මුල්‍ය හා බදු සහන සුදානම්

මැයි 04, 2019

    ත්‍රස්ත ප්‍රහාරයෙන් බලපෑමකට ලක්ව ඇති සංචාරක කේෂ්ත්‍රය යථා තත්ත්වයට පත්වන තෙක් හෝටල් හිමියන්ට උපරිම ආර්ථික සහන පිරිනැමීමටත්, එම සමාගම් සඳහා බදු සහන වැඩපිළිවලක් ක්‍රියාත්මක කිරීමේ යෝජනාවක් සලකා බැලීමට බලාපොරොත්තු වන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

    ආසියානු සංවර්ධන බැංකුවේ 52 වැනි වාර්ෂික මහ සභා රැස්වීමට සහභාගී වීම සඳහා ෆිජී රාජ්‍ය වෙත ගොස් සිටින මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා එම සැසියෙන් පසු බ්ලුම්බර්ග් රුපවාහිනි සේවය සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් මේ බව කියා සිටියේය. විදෙස් සංචාරකයින් රැඳී සිටි ප්‍රධාන පෙලේ සංචාරක හෝටල් තුනක් ඇතුළු ස්ථාන 08කදී සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තයේ නියැලී සිටින සමාගම් රජයෙන් බදු විරාම සහනයක් ලබා දෙන ලෙස ඉල්ලීමක් සිදුකර ඇති බව එහිදි ඔහු අනාවරණය කළේය.

    මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා "නිවැරදි ක්‍රියාමාර්ගයක් යටතේ බලපෑමකට ලක්ව තිබෙන මෙරට සංචාරක කේෂ්ත්‍රය වසරක් තුල හෝ වසර එකහාමාරක් වැනි කාලයක් තුල යලි නගා සිටුවීමට හැකිවනු ඇති බව මම විශ්වාස කරනවා. අතීතයේදී ටියුනීසියාව සහ බාලී වැනි සංචාරක කේෂත්‍රයේ ඉහලින් තිබු ස්ථාන වෙත මිට පෙර මෙවැනි ආකාරයේ ප්‍රහාරයන්ට මුහුණ දුන් බව" ඔහු කියා සිටියේය.

    තවදුරටත් අදහස් දැක්වු මුදල් අමාත්‍යවරයා ''දශක තුනකට ආසන්න කාලයක් මෙරට පැවති යුද්ධයෙන් පසු ගතවු වසර 10ක කාලය තුලදී මෙරට සංචාරක කේෂ්ත්‍රය ඉහල වර්ධනයක් පෙන්නුම් කරනු ලැබුවා. රටේ ආර්ථික වර්ධනය සදහා එමගින් ලබා දුන්නේ සුවිශේෂී දායකත්වයක්. මෙහි ප්‍රබලතම බලපෑම වන්නේ මෙවැනි ආකාරයේ ප්‍රහාර දිගින් දිගමට එල්ලවීමේ තිබෙන අවධානමයි. එවැනි තත්ත්වයක් යලි ඇති නොවීමට අපි සැමවිටම කැපවී කටයුතු කරන අතරම එවැනි දෙයක් සිදුනොවනු ඇති බවට බලාපොරොත්තු වනවා. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථිරවම සෙමින් ඉදිරියට යමින් තිබෙන බව" ඔහු පෙන්වා දුනී.

    මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා හා මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු නියෝජිතයින් එහිදී පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ සිදු ප්‍රහාරය සම්බන්ධයෙන් විදෙස් මුදල් අමාත්‍යවරුන් හා විදෙස් මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් සිටියි.

    Latest News