24 වසරකට පසු එජාපය ගේන අපේක්ෂකයා

අප්‍රේ 20, 2019

    වසර 24කට පසු රටම දිනවන එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

    එම අපේක්ෂකයා චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියගෙන් පසු ඉතිහාසයේ ඉහළම ජය ලබනු ඇතැයි අමාත්‍යවරයා කියා සිටියි. මංගල සමරවීර මහතා මේ බව කියා සිටියේ ඔහුගේ දේශපාලන දිවියට දශක තුනක් සපිරීම නිමිත්තෙන් මාතර නූපේ පැරැණි ඕලන්ද වෙළෙඳ සංකීර්ණයේ පැවැත්වෙන “දශක තුනක මාතර” ඡායාරූප ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

    එහි දී මාධ්‍යවේදීන් ඇමැතූ අමාත්‍යවරයා මෙසේ පැවැසීය.

    “මේ අවුරුද්දේ ජනාධිපතිවරණයෙන් පස්සේ අවුරුදු 24කින් පසු එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරයකු පත් කරගන්න යන ගමන වළක්වන්න කාටවත් බැහැ. එළඹෙන ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය දිනවල, තවත් අවුරුදු ගණනාවක් පාලනය කරන අපේක්ෂකයා කවුද කියල කථිකාවක් නිර්මාණය වෙලා තියෙනවා. ඒක ප්‍රජාතන්ත්‍රවාදී කථිකාවක්.

    විශේෂයෙන් ම ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන ලංකාවේ එකම දේශාපාලන පක්ෂය විදියට එක්සත් ජාතික පක්ෂයේ අපිත් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස අපේ පාර්ලිමේන්තු කණ්ඩායමේ මතය අනුව, අපේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ මතය අනුව ඒ වගේ ම අපේ ශාඛා සමිතිවල ඉන්න එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන්ගේ මතය අනුව අපි ඊළග ජනාධිපතිවරණ අපේක්ෂකයා පත් කරගෙන චන්ද්‍රිකා බණ්ඩාරණායක ජනාධිපතිතුමියගෙන් පස්සේ ලංකාවේ ජනතාව බලන්නට යන විශාලතම ජයග්‍රහණය අපි මේ වසර අන්තිමේදි එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයට ලබා දෙනවා.

    මේ බොහොම අමාරුවෙන් අපි ලබා ගත්ත ආණ්ඩුව ලේසියෙන් කාටවත් පෙරළන්න දෙන්නේ නෑ. කොයි තරම් බලවත් අය කුමන්ත්‍රණකාරී ලෙස බලය ඩැහැගන්න උත්සහ කළත් අපි දින 51 දි ඒක පෙන්නුවා. ඒ කුමන්ත්‍රණයට විරුද්ධව කටයුතු කරපු කෙනෙක් විදියට මම යළි වතාවක් කියනවා කිසිම කුමන්ත්‍රණයකින් මේ ආණ්ඩුව පෙරළන්න අපි ඉඩ තියන්නේ නැහැ”

    අමාත්‍යවරයා ක්‍රියාකාරී දේශපාලනයට පිවිසුණු සමයේ සිට පසුගිය දා සිදු කළ නිව්යෝර්ක් සංචාරය දක්වා වූ විවිධ තීරණාත්මක අවස්ථාවන්ට අයත් ඡායාරූප විශාල පිරිසක් මෙම ප්‍රදර්ශයනට ඇතුළත් කර තිබේ. ප්‍රදර්ශනය හෙට (21) මධ්‍යහන 12.00 දක්වා පැවැත්වෙන අතර එය නැරැඹීම සඳහා විශාල පිරිසක් සහභාගී වෙමින් සිටිති.

    එමෙන්ම, මංගල සමරවීර මහතාගේ දේශපාලන දිවිය අලළා පැවැත්වෙන විශේෂ උත්සවය 21 වැනි දා පස්වරු 3.00ට රුහුණ විශ්ව විද්‍යාලයීය රබීන්ද්‍රනාත් තාගෝර් ශ්‍රවණාගාරයේ දී ආරම්භවීමට නියමිතය.
    මෙම උත්සවයේ දී මංගල සමරවීර මහතාගේ දිවියේ රසමුසු තැන් අලළා නිහාල් ජගත්චන්ද්‍ර මහතා විසින් රචිත “මංගල සමරවීර” කෘතිය එළි දැක්වීම ද සිදු කෙරේ.

    Last modified on සෙනසුරාදා, 20 අප්‍රේල් 2019 16:42

    Latest News