ගෙවිය යුතු හිඟ බදු මුදල් මේ මස 30 වන දාට පෙර ගෙවීමට අපොහොසත් වුවොත් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගම ඇතුළු මත්පැන් නිෂ්පාදන සමාගම් පහක බලපත්‍ර අත්හිටුවීමට සුරා බදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.
සමාජ ක්‍රියාකාරිකයකු වන සංජය මහවත්ත ඇතුළු පිරිසක් විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා විසින් මෙම දැනුම් දීම සිදු කළා.
මෙම පෙත්සම අද ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණ හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගම, රෝයල් ඩිස්ටිලරිස් ඇතුළු මත්පැන් නිෂ්පාදන සමාගම් 05 ක් විසින් ගෙවිය යුතු හිඟ බදු මුදල් මේ මස 30 වන දාට පෙර ගෙවීමට පියවර ගන්නා ලෙස දැනුම් දී ඇති බවයි.
එසේ හිඟ බදු මුදල් ගෙවීමට අපොහොසත් වුවොත් ඔවුන්ගේ බලපත්‍ර අත්හිටුවීමට එම දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල් වරයා සඳහන් කළා.
ඉන් අනතුරුව මෙම පෙත්සම ලබන ජනවාරි 22 වන දා කැඳවීමට නියෝග කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එදින මෙම කටයුතු වල ප්‍රගතිය දැනුම් දෙන ලෙසත් වග උත්තරකරුවන්ට නියෝග කෙරුණා.
මෙම සමාගම් පහ විසින් ගෙවීම පැහැර හැර ඇති බදු මුදල්වල වටිනාකම රුපියල් බිලියන හයකට ආසන්න බවත් නඩු වාර්තාවේ සඳහන් වී තිබෙනවා.
පෙත්සම්කරුවන් කියා සිටින්නේ වග උත්තරකාර මත්පැන් නිෂ්පාදන සමාගම් විසින් රජයට ගෙවිය යුතු බදු මුදල් දිගින් දිගටම ගෙවීම පැහැර හැරීම නිසා ජාතික අර්ථිකයට විශාල අගතියක් සිදුවී ඇති බවයි.
ඒ අනුව අදාළ බදු මුදල් අයකරගන්නා ලෙස සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයාට නියෝගයක් නිකුත් කරන ලෙසත් එසේ බදු ගෙවීම පැහැර හරිනු ලබන සමාගම්වල බලපත්‍ර අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් එම පෙත්සමෙන් ඉල්ලා තිබුණා.