ලොහාන් රත්වත්තේගේ ඇප ඉල්ලීමේ පෙත්සම සලකා බැලීමට දින දෙයි

නොවැ 11, 2024
    මිරිහාන ප්‍රදේශයේ නිවසක තිබී ලියාපදිංචි නොකළ මෝටර් රථයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තමන්ව ඇප මත මුදා හරින ලෙස ඉල්ලා හිටපු රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්ත මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම සඳහා ලබන 19 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.

    එදින මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා අදාල පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර තිබූ පොලිස්පතිවරයා සහ විමර්ශන සිදු කරන පොලිස් නිලධාරීන් ඇතුළු පිරිසකට නොතීසි නිකුත් කරන ලෙසත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නියෝග කළා.

    අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළා.
    මෙම පෙත්සම මුලින්ම සෝභිත රාජකරුණා සහ මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
    එහෙත් එම විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු මහේන් ගොපල්ලව මහතා මෙම නඩු විභාගයෙන් තමා ඉවත් වන බව දැනුම් දුන්නා.
    ඉන් අනතුරුව මෙම පෙත්සම අභියාචනාදිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් සමන්විතය අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලූනා.
    පෙත්සම්කාර ලොහාන් රත්වත්තේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජේ රාජරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මිරිහාන පොලිස් වසම තුළ පිහිටි ශාලාව පාරේ නිවසක ලියාපදිංචි නොකළ මෝටර් රථයක් රඳවා තිබෙන බවට ඉකුත් ඔක්තෝබර් මස 25 වන දා මිරිහාන පොලිසියට ලැබුණු නිර්නාමික දුරකථන ඇමතුමක් මත මෙම විමර්ශනය ආරම්භ වී ඇතැයි සඳහන් කළා.
    අධිකරණය කළ විමසීමකදී ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ අදාල නිවස පෙත්සම්කාර ලෝහාන් රත්වත්තේ මහතාගේ බිරිඳ වන රශි ප්‍රභා රත්වත්තේ නැමැත්තියට අයත් බවයි.
    පසුව ඉකුත් ඔක්තෝබර් මස 31 වන දා සේවා සේවාදායකයාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මේ දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවා.
    පෙත්සම්කරු අක්මා රෝගී තත්වයකින් පෙළෙන අතර බන්ධනාගාර ගතවීමෙන් පසුව ඔහු බන්ධනාගාර රෝහලට ඇතුළත් කොට රෝගී තත්ත්වය උත්සන්න වීම නිසා අනතුරුව කොළඹ ජාතික රෝහලටත් මාරු කෙරුණු බවත් ඔහු පැවසුවා.
    මේ වන ඔහු යළිත් බන්ධනාගාර රෝහලට මාරු කර තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.
    තම සේවා දායකයාට පොලිසිය විසින් එල්ල කර තිබෙන්නේ මෝටර් රථවාහන පනතේ චෝදනාවක් බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා ඊට නියම කළ හැකි උපරිම දඩය රුපියල් 50000/- ක් බව සඳහන් කළා.
    එසේ තිබියදී ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීම අයුක්ති සහගත බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත සහ රේගු පනත යටතේ තම සේවා දායකයාට එරෙහිව විමර්ශන සිදු කරන බවට ොලිසිය අධිකරණයට ප්‍රකාශ කළත් ඊට අදාළ වාර්තා කිසිවක් ඉදිරිපත් කර නොමැති බවත් පෙන්වා දුන්නා.
    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අදාල පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන 19 වනදා කැඳවන ලෙස නියෝග කළා.

    Latest News