පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව ගොනුකළ නඩුවේ විත්ති වාචිකය කැඳවන ලෙස ම ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.
හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ හිටපු පොලිස්පතිවරයා පාස්කු ප්‍රහාරය සම්බන්ධ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කළ අභියාචනයක් සලකා බැලීමෙන් අනතුරුවයි ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ලවීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදි එය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් සාපරාධි ලෙස රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනා මත හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයා නඩුවක් පවරා තිබුණා.
විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව විත්තිකරුවන් දෙදෙනා මෙම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමටයි කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නියෝග කළේ.
එම තීරණය නීතියට පටහැනි බවත් එය බලරහිත කරන ලෙසත් ඉල්ලා නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ අභියාචනයයි අද විභාගයට ගැණුනේ.