සරණාගතයින් 33 දෙනෙකුට දිවි අහිමිකළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරය

ඔක් 19, 2024

    උතුරු ‍ගාසා තීරයේ සරණාගත කඳවුරකට ඊයේ එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් 33 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    ගාසා බලධාරීන් සඳහන් කළේ, මිය ගිය පිරිස අතර, 21දෙනෙකු කාන්තාවන් බවයි. ඊශ්‍රායල හමුදාව, උතුරු ‍ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර තවදුරටත් තීව්‍ර කර ඇති බව, වාර්තා වනවා. එම හමුදාව, උතුරු ගාසා තීරයේ ජබාලියා සරණාගත කඳවුර ආශ්‍රිත ප්‍රදේශය වටලමින් සිටින්නේ, සති ගණනාවක සිටයි. උතුරු ගාසා තීරය තුළ සන්නිවේදන මාර්ග අවහිරතා මධ්‍යයේ වුවද, ඊශ්‍රායල යුද ටැංකි ජබාලියා කඳවුර වටලා ඇති අයුරු දැක ගත හැකි බව, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

    ගාසාහි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ, එම කඳවුරට ඊයේ එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයෙන් 85 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි. කඩා වැටුණු ගොඩනැගිලි සුන්බුන් යට පිරිස් සිරවී සිටින බැවින් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව ද එම අමාත්‍යාංශය පෙන්වා දෙනවා. මේ අතර, අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් කියා සිටියේ, ඊශ්‍රායලය හිස්බුල්ලා සංවිධානයට එරෙහිව සිදු කරන සිය මෙහෙයුම් තාවකාලිකව නවතා, ලෙබනනය තුළ සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීමට සිය එකඟතාව පළ කරනු ඇති බවයි.

    කෙසේවුවද, එවැනි සටන් විරාමයක් ගාසා තීරය තුළ ක්‍රියාත්මක කිරීම පහසු එකක් නොවනු ඇති බව ද අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

    Latest News