නිලන්ත වන්දි ගෙවයි

ඔක් 07, 2024
    පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය පිළිබඳව කලින් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් වලට අදාළව නියම වූ රුපියල් මිලියන 75 ක වන්දි මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන් කර තිබෙන බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා සිය නීතිඥවරු මාර්ගයෙන් අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.
    පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය පිළිබඳව කලින් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් වලට අදාළව නියම වූ වන්දි මුදල් සම්පූර්ණයෙන් ගෙවා අවසන් නොකිරීම හේතුවෙන් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව ගොනුකර තිබූ නඩුකරය අද දහවල් යලි කැඳවූ අවස්ථාවේදී ඒ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා මෙම දැනුම්දීම සිදුකළා.
    ඒ බව තහවුරු කරන ලේඛනයක්ද ජනාධිපති නීතිඥවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කළා.
    මෙම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විවේකා සිරිවර්ධන මහත්මියද අධිකරණයට දැනුම් දුන්නේ වග උත්තරකරු විසින් අද දින රුපියල් මිලියන 65 ක වන්දි මුදලක් ගෙවා ඇති බව හානි පූර්ණ කාර්යාලය විසින් වාර්තා කර ඇති බවයි.
    ඉන් අනතුරුව විවෘත අධිකරණයේ නැගී සිටි  වගඋත්තරකාර නිලන්ත ජයවර්ධන මහතා මෙම වන්දි මුදල් ගෙවීමට ප්‍රමාද වීම සම්බන්ධයෙන් තමා අධිකරණයෙන් සමාව අයැද සිටින බව සඳහන් කළා.
    ඉන් අනතුරුව වගඋත්තරකරුට අදාළ නඩු කටයුතු අවසන් කිරීමටත් අධිකරණය තීන්දු කළා.
    ඒ අනුව මෙම නඩුවට අදාළ වන්දි ගෙවීම් සිදුවන ක්‍රමවේදය පිළිබඳව විමසා බැලීම සඳහා  මෙම නඩු කටයුත්ත යලි නොවැම්බර් මස 18 වනදා කැදවීමට ද සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල වැඩිදුරටත් නියෝග කළා.
    මෙම නඩුකරය අද පෙරවරුවේ
    අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයි රාජා, ඒ.එච්.එම්.ඩී. නවාස්, කුමුදුනි වික්‍රමසිංහ, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පූලි යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්
    ඉදිරියේ කැඳවනු ලැබුවා.
    එම අවස්ථාවේදී ඉකුත්දා සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල  විසින් නිකුත් කළ නොතිසියකට අනුව වග උත්තරකාර නිලන්ත ජයවර්ධන මහතා  අධිකරණය හමුවේ පෙනී සිටියා. 
    එහිදී නිලන්ත ජයවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් දන්වා  තම සේවා දායකයා සක්‍රීය සේවයේ නියුතු පොලිස් නිලධාරියකු බැවින් ඔහුට මෙම වන්දි මුදල් ගෙවීම සඳහා බාහිර පාර්ශ්වයන්ගෙන් මුදල් ඉල්ලා සිටීමට හැකියාවක් නොමැති බවයි. 
    කෙසේ වෙතත් මතු වී තිබෙන තත්ත්වය සැලකිල්ලට ගෙන ඔහුගේ හිතමිත්‍රයින් ඉදිරිපත් වී  ගෙවීමට නියමිතව තිබෙන ඉතිරි වන්දි මුදල් සඳහා වන මුදල පරිත්‍යාග කිරීමට කටයුතු කර ඇති බවත් එම මුදල් තම සේවා දායකයාගේ බිරිඳගේ බැංකු ගිණුම වෙත ලැබී තිබෙන බවත් සඳහන් කළා.
    අදාළ මුදල් අද දින  හානිපූර්ණ කාර්යාලයට ගෙවීමට කටයුතු කරන ලෙස අදාළ බැංකුව වෙත ස්ථාවර නියෝගයක් නිකුත් කර ඇති බවත්   ඒ අනුව පෙත්සම්කරු අධිකරණ නියෝගයට අවනතව අදාළ සම්පූර්ණ වන්දි මුදල ගෙවීමට කටයුතු කර ඇති බැවින් ඔහුට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ වූ නඩු විභාගය ඉදිරියට පවත්වාගෙන නොයන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. 
    මෙහිදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේ වන්දි මුදල් ගෙවීම සඳහා වගඋත්තරකරුවන්ට ලබා දුන් කාලය මේ වන විටත් ඉක්ම ගොස් ඇති බවයි.
    කෙසේ වෙතත් අදාළ මුදල් ගෙවූ බව තහවුරු කරන ලේඛන අද පස්වරු 1.30 ට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් එසේ මුදල් ගෙවූ බව තහවුරු කිරීමට වග උත්තරකරු අපොහොසත් වන්නේ නම් ඔහුට එරෙහිව  අධිකරණයට අපහාස කිරීම යටතේ වූ නඩු කටයුතු ඉදිරියට පවත්වාගෙන යන බවත් අග විනිසුරුවරයා විවෘත අධිකරණයේ සඳහන් කළා.
    ඒ අනුව අදාළ නඩු කටයුත්ත යලි අද දහවල් කැඳවනු ලැබූ අවස්ථාවේදී අදාළ සම්පූර්ණ වන්දි මුදල් ගෙවා අවසන් කර තිබෙන බව නිලන්ත ජයවර්ධන මහතාගේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා.
    ඒ අනුව ඔහුට අදාළ නඩු කටයුතු අවසන් කිරීමට ද තීන්දු වුණා.
    පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දු කළ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඒ වෙනුවෙන් රුපියල් මිලියන 75ක වන්දියක් ගෙවන ලෙස රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාට  නියෝග කර තිබුණා.
    එහෙත් එම වන්දි මුදලින් රුපියල් මිලියන 10 ක මුදලක් නිලන්ත ජයවර්ධන මහතා විසින් ගෙවීමට කටයුතු කළ අතර  ඉතිරි වන්දි මුදල් ගෙවීම තමන්ට අපහසු බව ඔහු සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණයට දැනුම් දී තිබුණා. 
    ඒ අනුව රුපියල් මිලියන 75ක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින්  නිකුත් කළ නියෝගයට අවනතව කටයුතු නොකිරීම හේතුවෙන්   සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් කරනු ලැබූ නියෝගයට අනුව නීතිපතිවරයා විසින් නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ චෝදනා කෙටුම්පත් කර අධිකරණයට ඉදිරිපත් කළා.
    එම චෝදනා සලකා බැලීමෙන් අනතුරුවයි වග උත්තරකාර නිලන්ත ජයවර්ධන මහතාට අද දින අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කර තිබුණා.
    මෙම නඩු විභාගය අතරතුර නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්  විවේකා සිරිවර්ධන මහත්මිය අධිකරණයට දැනුම් දුන්නේ මෙම නඩුකරය හරහා හානිපුරන කාර්යාලයට ලැබුණු වන්දි මුදල්වලින් රුපියල් මිලියන 63 ක් දැනටමත් මෙම සිද්ධියෙන් අගතියට පත් වින්දිතයින්ට ගෙවා අවසන් කර ඇති බවයි.
    මෙසේ වන්දි මුදල් ගෙවා තිබෙන වින්දිතයන්ගේ නාම ලේඛනයක් ලබාදීමට කටයුතු කරන ලෙස කාදිනල් අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා ද අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
    Last modified on සදුදා, 07 ඔක්තෝබර් 2024 15:11

    Latest News