ජපාන සමාගමක මුදල් සාවද්‍යව පරිහරණය කළ මෙරට සමාගමක අධ්‍යක්ෂවරුන්ට නඩු

අගෝ 29, 2024
    ගාලු ප්‍රදේශයේ හෝටල් ව්‍යාපෘතියක් ඇරඹීම සඳහා මෙරට ආයෝජනය සඳහා පැමිණි ජපාන සමාගමක් විසින් අයෝජනය කළ ඇමෙරිකානු ඩොලර් මිලියන 06  පමණ මුදලක් සම්බන්ධයෙන් සාපරාදී විශ්වාසය කඩ කළේ යැයි චෝදනා කරමින්
    මෙරට පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂවරු පිරිසකට එරෙහිව ගොනුකර ඇති පෞද්ගලික පැමිණිල්ලකට අදාළව විත්තිකරුවන්ට සිතාසි නිකුත් කරන්නේද? නැද්ද? යන නියෝගය සැප්තැම්බර් මස 26 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.
     
    ජපාන සමාගමක් වන සී.සී. ට්‍රස්ට් පුද්ගලික සමාගම විසින් ගොනුකර තිබූ පුද්ගලික පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් තනූජා ජයසිංහ මහත්මිය මෙම නියෝගය නිකුත් කළා.
     
    අදාල පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස මෙරට පෞද්ගලික සමාගමක  සභාපති වශයෙන් කටයුතු කරන වයි. කනගසබේ  ඇතුළු එහි අධ්‍යක්ෂවරු හතර දෙනකු නම් කරනු ලැබ සිටිනවා.
     
    පැමිණිලිකාර සමාගම කියා සිටින්නේ ගාලු ප්‍රදේශයේ හෝටල් ව්‍යාපෘතියක් ඇරඹීම සඳහා තමන් විත්තිකාර සමාගම සමඟ ආයෝජන කටයුත්තකට එළඹුණු අතර ඒ යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 06 කට වැඩි මුදලක් ආයෝජනය කළ බවයි.
     
    එහෙත් අදාළ හෝටල් ව්‍යාපෘතිය 2017 වසරේ දෙසැම්බර් මස 3 වන දා අවසන් කරන බවට පොරොන්දු වී තිබුණත්  අදාල ව්‍යාපෘතිය  සම්පූර්ණ කිරීමට විත්තිකාර සමාගම කටයුතු නොකළ බවත් ඒ තුළින් ඔවුන් අදාළ මුදල් පිළිබඳව සාපරාධි විශ්වාසය කඩ කිරීම තුළින් දණ්ඩ නීති සංග්‍රයේ 398 සහ 403 යන වගන්තිවල සඳහන් වැරදි සිදු කර තිබෙන බවත් අදාළ පෞද්ගලික පැමිණිල්ලේ සඳහන් කර තිබෙනවා.
     
    මෙම පැමිණිල්ල ක් ඊයේ කැඳවූ අවස්ථාවේදී පැමිණිලිකාර සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිරංජන් අරුල්ප්‍රගාසම් මහතා සමග අධිකරණය හමුවේ කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා මෙහි විත්තිකරුවන්ට සිතාසි නිකුත් කරන ලෙසත් විත්තිකාර අධ්‍යක්ෂවරු විදේශගතවීම වැළැක්වීමේ තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.
     
    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය පැමිණිල්ල විසින් ඉල්ලා සිටින නියෝග නිකුත් කරනවාද? නැද්ද? යන නියෝගය සැප්තැම්බර් මස 26 වනදා ප්‍රකාශයට පත් කරන බව නියෝග කළා.
     
    මෙහිදී පැමිණිලිකාර සමාගම වෙනුවෙන් නිරංජන් අරුල්ප්‍රගාසම්, නන්දන පෙරේරා යන නීතිඥවරු සමග ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා පෙනී සිටියා.

    Latest News