වාස් ගුණවර්ධනට තවත් සිර දඬුවමක්

අගෝ 08, 2024
    2009  වසරේ මාලබේ තොරතුරු තාක්ෂණ විද්‍යාලයේ ඉගෙනුම ලැබූ නිපුණ රාමනායක නමැති තරුණයකු පැහැරගෙන ගොස් කොළඹ අපරාධ කොට්ඨාශයේ  අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනාවට වරදකරු කෙරුණු මේ වනවිට මරණීය දණ්ඩනය නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් බරපතළ වැඩ සහිත වසර 04 සිර දඬුවම් නියම කළා.
    ඊට අමතරව වාස් ගුණවර්ධන මහතාට රුපියල් 20000/-ක  දඩයක් ද විනිසුරුවරයා නියම කළා.
     
    ඊට අමතරව පැහැරගෙන යාම, අයුතු සිරකර තැබීම සහ සුළු තුවාල කිරීමේ චෝදනාවන් හතරකට වරදකරුවන් කරනු ලැබූ වාස් ගුණවර්ධන මහතාගේ පුත් රවිඳු ගුණවර්ධන සහ කොළඹ අපරාධ කොට්ඨාශයේ සේවය කළ තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට වසර 16 ක් බැගින් බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එම සිර දඬුවම් වසර 04 කින් ගෙවා අවසන් විය යුතු බවත් නියෝග කර සිටියා.
     
    ඊට අමතරව එම විත්තිකරුවන්ට තුන්දනාට රුපියල් 82000/- ක් බැගින් දඩ මුදල් ද නියම කෙරිණා.
     
    එසේම මෙම සිද්ධියට අදාළව ව්‍යාජ සටහන් යෙදීම සම්බන්ධයෙන් වරදකරු කෙරුණු කොළඹ අපරාධ කොට්ඨාශයේ සේවය කළ ලලිත් ශාන්ත විතාන නමැත්තාට බරපතළ වැඩ සහිත වසර 08 ක සිර දඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එම සිර දඬුවම වසර 04 කින්  ගෙවා අවසන් කළ යුතු බවත් නියෝග කර සිටියේය.
     
    ඊට අමතරව එම විත්තිකරුට රුපියල් 40000 ක දඩයක්ද නියම කෙරුණි.
     
    මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස නම්කර සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ බිරිඳ වන ශාමලී ප්‍රියදර්ශනී පෙරේරා සහ තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු  නිදොස් කොට නිදහස් කිරීමටද අධිකරණය විසින් තීන්දු කරන ලදී. 
     
    තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට පෙර නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ විත්තිකරුවන් බහුතරයක් සාම නිලධාරීන් බවත් මහ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම ඔවුන්ගේ වගකීම බවත් සඳහන් කර සිටියා.
     
    එවැනි වගකීමක් දරා සිටින පිරිසක් මේ ආකාරයෙන් පුද්ගලයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා  හිරිහැර කිරීම අනුමත කළ නොහැකි බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පොලිස් නිලධාරින් ද රටේ සාමාන්‍ය නීතියට යටත් බව හැඟවෙන ආකාරයේ පණිවිඩයක් ලබාදිය හැකි තීන්දුවක් ලබා දෙන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.
     
    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙම නඩුවේ වරදකරුවන් කෙරුණු විත්තිකරුවන් අතුරින් බහුතරය සාමය ආරක්ෂා කිරීම සඳහා බැඳී සිටින පොලිස් නිලධාරීන් බවට අධිකරණය හමුවේ කරුණු පැහැදිලි වී ඇති බව සඳහන් කළා.
     
    එසේ තිබියදී ඔවුන් විසින් සිදු කර තිබෙන වරදවල් වල ස්වභාවය බරපතල බවත් මෙම සිද්ධියට මුහුණ දුන් පැමිල්ලිකාර තරුණයා දින 20 ක් පමණ කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබීම යන කරුණු සැලකිල්ලට ගෙන මෙම තීන්දුව ප්‍රකාශයට පත්කරන බවත් විනිසුරුවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.
     
    2009 වසරේ අගෝස්තු මස 4 වනදා කොළඹ නැදිමාල ප්‍රදේශයේදී  මාලඹේ තොරතුරු තාක්ෂණ විද්‍යාලයේ ඉගෙනුම ලැබූ නිපුණ රාමනායක නැමැති තරුණයකු පැහැරගෙන ගොස් කොළඹ අපරාධ කොට්ඨාශයේ රඳවා තබා  , සුළු තුවාල සිදුකිරීම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා තිබුණා.
     
     
     

    Latest News