ඩයනාට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ

අගෝ 05, 2024
    අධිකරණයට අපහාසයක් සිදු කර ඇතැයි චෝදනා කරමින් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට  ගොනුකර තිබූ පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය  තීන්දු කළා.
    මෙම පෙත්සම අද ප්‍රීති පද්මන් සූරසේන , යසන්ත කෝදාගොඩ සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බලනු ලැබුවා.
     
    දීර්ඝ කරුණු සලකා බැලීමකින් පසුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වය මත අදාල පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට  තීන්දු කළා.
     
    රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මයට ශ්‍රී ලාංකික පුරවැසිභාවය නොමැති බවත් එබැවින් ඇයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරිය නොහැකි බවට තීන්දු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා ඉකුත් මැයි මස 09 වනදා ඩයනා ගමගේ මහත්මිය විසින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා තිබුණා.
     
    එම මාධ්‍ය සාකච්ඡාවේදී පළ කරනු ලැබූ අදහස් වලින් අධිකරණයට අපහාසයක් සිදුකොට ඇතැයි චෝදනා කරමින් වැලිගම නගර සභාවේ හිටපු සභාපති රෙහාන් ජය වික්‍රම මහතා විසින් මෙම පැමිණිල්ල  ඉදිරිපත් කර තිබුණා.
     
    පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් යම් නඩු තීන්දුවක් සම්බන්ධයෙන් අදහස් දැක්වීමට හැකියාව තිබුන ද  අධිකරණයේ ගෞරවයට හානි වන අයුරින්  විවේචන සිදු කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3(1) යටතේ දඬුවම් ලැබිය  වරදක් බව පෙන්වා දුන්නා.
     
    දේශපාලන කුමන්ත්‍රණයක කොටස්කරුවන්  බවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පත්ව  තිබෙන බවට වග උත්තර කාරිය සිදු කළ ප්‍රකාශය තුළින් මහජනතාව තුළ වැරදි වැටහීමක් ඇතිවන බවත් ඔහු සඳහන් කළා.
     
     ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පිළිගැනීමට පුළුවන්කමක් නොමැති බවට වගත්තරකාරිය විසින් ප්‍රකාශ කිරීම හේතුවෙන්  ශ්‍රේෂ්ඨාධිකරණය විසින්  ලබාදෙන තීන්දු පිළි නොගෙන සිටිය හැකි බවට සාමාන්‍ය මතයක් ගොඩනැගෙන බවත් නීතිඥවරයා අනතුරු අඟවා සිටියා.
     
    වගඋත්තරකාරිය සිදු කළ එම ප්‍රකාශය තුළින්  අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් ඒ පිළිබඳව විභාගයක් පවත්වා ඇයට දඩුවම් නියම කරන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
     
    ඉන් අනතුරුව වග උත්තරකාර ඩයනා ගමගේ මහත්මිය වෙනුවෙන් ජනාධිපති නීතීඥ  ශානක රණසිංහ  මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්  අධිකරණයට අපහාස කිරීමේ චේතනාවකින් සිය සේවා දායිකාව මෙම ප්‍රකාශය සිදු නොකළ බව සඳහන් කළා.
     
    තමන් අධිකරණ තීන්දුව පිළිගන්නා බවට ඇය අදාළ මාධ්‍ය සාකච්ඡාව තුළම ප්‍රකාශ කර තිබෙන බවත් ඒ තුළින් ඇයට අධිකරණයට අපහාස කිරීමේ චේතනාවක් නොතිබූ බව තහවුරු වන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියා.
     
    මෙම තීන්දුව විවේචනය කිරීම වග උත්තරකරුවන්ගේ අපේක්ෂාව නොවූ බවත්  සමගි ජන බලවේගයේ නායකයා ,මහලේකම්වරයා ඇතුළු කිහිප දෙනෙකුගේ එක්වී සිදු කරන ලද දේශපාලන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් අදහස් පැහැදිලි කිරීම  ඇයගේ අපේක්ෂාව වූ බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියා.
     
    ඒ අනුව අදාල පෙත්සම නිෂ්ප්‍රභ  කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
     
    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.
     
     

    Latest News