උතුරේ පවතින ඉහළ ආර්ථික විභවයන් උතුරේත්, රටේත් දියුණුවට දායක කර ගන්නවා

අගෝ 03, 2024

    යාපනය ඇතුළු උතුරු පළාතේ ජනතාව බොහෝ කලක සිට ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දෙන නමුත් ප්‍රයෝජනයට ගත හැකි විශාල ආර්ථික විභවයක් එම පළාතේ පවතින බව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම අවස්ථාවන් උතුරු පළාත ඇතුළු සමස්ත රටේම ආර්ථික වර්ධනයට දායක කර ගැනීමට රජය සැලසුම් කර තිබෙන බව පැවසිය.

    ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ යාපනය දිස්ත්‍රික්කයේ විද්වතුන්, වෘත්තියවේදීන් සහ ව්‍යවසායකයන් සමඟ ඊයේ (02) යාපනය, වාලම්පුරි හෝටලයේ පැවති හමුවේදී ය.

    මැතිවරණ වේදිකාවල විවිධ පොරොන්දු දෙමින් ඒවා ඉටු කිරීමට ණය ගැනීම මත මෙරට ආර්ථික මෙන්ම දේශපාලන ක්‍රමයද කඩා වැටුණු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා නැවත එම වරද සිදුවීමට ඉඩ නොතබා නව ආර්ථික සහ දේශපාලන ක්‍රමවේදයක් ඔස්සේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට දායක වීම මෙරට උගතුන්, වෘත්තීයවේදීන්, ව්‍යවසායකයන් ඇතුළු සියලුදෙනාගේ වගකීම බවද පෙන්වා දුන්නේය.

    මෙරට ජනවාර්ගික ප්‍රශ්නය ද කඩිනමින් විසඳා ගත යුතු බව පැවසු ජනාධිපතිවරයා බහුතරයක් වූ සිංහල හා බෞද්ධ ජනතාවට ප්‍රමුඛ ස්ථානයක් හිමි වුවද සැමට එක හා සමානව සැලකීම ඉතා වැදගත් බවත්, ජනවාර්ගික සහ ආගමික කණ්ඩායම් අතර මෙන්ම කාන්තා සහ පුරුෂ දෙපාර්ශ්වය අතර සමානාත්මතාවය ඇතිකිරීම ද මීට ඇතුළත්වන බවත් සඳහන් කළේය.

    එසේම සිංහල භාෂාව සේම දෙමළ භාෂාව ද ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා නුදුරු අනාගතයේ තමිල්නාඩුවේ සිදුවීමට නියමිත ආර්ථිකය වර්ධනයත් සමඟ දෙමළ භාෂාව කතා කරන ශ්‍රී ලාංකිකයන්ට අන් අයට නොලැබෙන අවස්ථා උදාවනු ඇති බවද කියා සිටියේය.

    Latest News