ශිෂ්‍යත්ව වාරික මුදල් ඍජුවම බැංකුවෙත - දැනුවත් කිරීමට කෙටි පණිවිඩයකුත්

අගෝ 01, 2024

    ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහනේ අගෝස්තු මාසයට අදාළ වාරික මුදල්, අද ශිෂ්‍යත්වලාභීන්ගේ බැංකු ගිණුම්වලට යොමු කර තිබෙනවා.

    ශිෂ්‍යත්ව වාරික මුදල් බැංකු ගිණුම්වලට බැර කිරීමේදී ඒ පිළිබඳ කෙටි පණිවිඩයක් මගින් ශිෂ්‍යත්වලාභීන් දැනුවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. මෙම ශිෂ්‍යත්ව වැඩසටහන් යටතේ සිසුන් 116,000කට පමණ, රුපියල් මිලියන 5,000කට වැඩි මුදලක් ගෙවීමටයි, ජනාධිපති අරමුදල ක්‍රියාකර තිබෙන්නේ. 2022 – 2023 අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත්, උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් 3,000 කට, මසකට රුපියල් 6,000 බැගින් වූ ශිෂ්‍යත්වයක් පිරිනැමෙනවා.

    මෙවර ගෙවනු ලබන්නේ එහි 17 වැනි වාරිකයයි. ඊට අමතරව 2023-2024 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සමත්ව, උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් 6,000 කට ද මසකට රුපියල් 6,000 බැගින් ගෙවනු ලබන ශිෂ්‍යත්වයේ 6 වැනි වාරික අද මෙලෙස බැංකු ගිණුම්වලට බැර කර තිබෙනවා. පළවැනි ශ්‍රේණියේ සිට 11 වැනි ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන සිසුන් ලක්‍ෂයක් සඳහා ද ශිෂ්‍යත්ව පිරිනැමෙනවා.

    ඒ යටතේ එක් සිසුවෙකුට රුපියල් 3,000 මාසික ශිෂ්‍යත්වයක් හිමිවනවා. එහි පස්වැනි වාරිකය ද අදාළ සිසුන්ගේ ගිණුම්වලට යොමු කර ඇති බවයි, ජනාධිපති මාධ්‍ය අංශ නිවේදනය කරන්නේ. පිරිවෙන් හා සිල්මාතා අධ්‍යාපන ආයතනවල, ගිහි පැවිදි සිසුන් 500 ක් සඳහා ද මසකට රුපියල් 6,000 බැගින් ශිෂ්‍යත්ව පිරිනැමෙනවා.

    එහි 4 වැනි වාරිකය, අද අදාළ ගිණුම්වලට බැර කෙරුණා. පිරිවෙන් සහ සීලමාතා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ගිහි පැවිදි සිසුන් 3,000 කට ද රුපියල් 3,000 බැගින් පිරිනැමෙනවා. එම ශිෂ්‍යත්ව මුදලේ 4 වැනි වාරිකය අදාළ ශිෂ්‍යත්ව ලාභීන්ගේ ගිණුම්වලට අද බැර කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

    Latest News