කංසා හේනක් - හෙරොයින් තොගයක් වටලයි

ජූලි 24, 2024

    තණමල්විල, හංබෙගමුව ප්‍රදේශයෙන් කංසා හේනක් සහ මිනුවන්ගොඩ තොටිල්ලගහවත්ත ප්‍රදේශයේ වැටලීමකදී රුපියල් ලක්ෂ 22 කට ආසන්න හෙරොයින් තොගයක් සොයා ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා. 

    පොලීසිය ප්‍රකාශ කළේ, කංසා වගාව පවත්වාගෙන ගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි.

    තණමල්විල හම්බෙගමුව ජනපදයේ පවත්වාගෙන ගොස් ඇති කංසා වගාව සොයාගනු ලැබ ඇත්තේ, හම්බෙගමුව පොලිස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින්.  එහි කංසා ගස් 12,500 ක් පමණ වගා කර තිබූ අතර, එය රුපියල් ලක්ෂ 50 කට අධිකයි.  සැකකරු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.  ඔහු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබූ අතර, කංසා ගස් තොගය ගිනි තබා විනාශ කෙරුණා.

    මේ අතර, පොලිස් විශේෂ කාර්ය බලකාය මිනුවන්ගොඩ තොටිල්ලගහවත්ත ප්‍රදේශයේ ඊයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී ජල ටැංකියක් තුළ සඟවා තිබූ හෙරොයින් තොගයක් සොයා ගැනීමට සමත් වුණා.  හෙරොයින් තොගය රුපියල් ලක්ෂ 22 කට ආසන්නයි.  මෙම හෙරොයින් තොගය මෙලෙස සඟවා තබා ඇත්තේ, ඩුබායි රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමේදී මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබ ඇති දාගොන්නේ අවිශ්ක නොහොත් කිරිපුතා යන අයගේ අනුදැනුම මතයි. 

    Latest News