ඥානසාර හිමි ගැන මහාධිකරණය දුන් නියෝගය

ජූලි 22, 2024
    ඉස්ලාම් ආගමට අපහාසාත්මක වන ආකාරයේ ප්රකාශයක් සිදු කළේ යැයි, වසර හතරක සිර දඬුවමක් ලබා සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් අභියාචනාධිකරණය විසින් දුන් නියෝගයකට අනුව ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළා.

    කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්ය පටබැඳිගේ මහතා විසින් මෙම නියෝගය ලබා දුන්නා.

    සිර දඬුවම් නියම වීමෙන් පසුව ඥානසාර හිමියන් විසින් ඊට එරෙහිව අභියාචනාධිකරණය වෙත ඇපෑලක් ඉදිරිපත් කළා.
     
    එම ඇපෑල විභාග කොට අවසන් තීන්දුවක් ප්රකාශයට පත් කරන තුරු තමන් වහන්සේව ඇප මත මුදා හරින ලෙස ඉල්ලා ඥානසාර හිමියන් කළ ඇප ඉල්ලීමක් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්ය පටබැඳිගේ මහතා විසින් මෑතකදී ප්රතික්ෂේප කර තිබුණා.
     
    එම මහාධිකරණ නියෝගයට අනුව ඥානසාර හිමියන් විසින් ඉදිරිපත් කළ ප්රතිශෝධන පෙත්සමක් විභාග කළ අභියාචනාධිකරණය උන්වහන්සේ රුපියල් 50000 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 05 ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස පසුගියදා නියෝග කළා.
     
    ඊට අමතරව උන්වහන්සේගේ විදේශ ගමන් තහනම් කිරීමට නියෝග කළ අභියාචනා අධිකරණය ඒ බව ආගමන හා විගමන පාලකවරයාට දැනුම් දෙන ලෙසත් කොළඹ මහාධිකරණය වෙත නියෝග කර තිබුණා.
     
    එම අභියාචනාධිකරණ නියෝගය පරිදි උන්වහන්සේ අද කොළඹ මහාධිකරණ විනිසුරුවරයා විසින් ඇප මත මුදා හරිනු ලැබුවා.
     
    2016 වසරේ කූරගල විහාරස්ථානය පිළිබඳව කොළඹ පැවැති මාධ්ය හමුවකදී පළ කරන ලද අදහස් වලින් ඉස්ලාම් ආගමට අපහාසයක් සිදු කොට ආගමික සංහිඳියාවට බාධා සිදු කළේ යැයි එල්ල කෙරුණු චෝදනා දෙකකට වරදකරු කෙරුණු ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය විසින් පසුගිය මාර්තු මස 30 වැනිදා බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවම් නියම කර තිබුණා.
    Last modified on සදුදා, 22 ජූලි 2024 11:12

    Latest News