බංග්ලාදේශයට ඇඳිරිනීතිය

ජූලි 20, 2024

    බංග්ලාදේශය පුරා වහාම ක්‍රියාත්මක වන පරිදි ඇදිරි නීතිය පැනවීමට එරට රජය පියවර ‍ගෙන තිබෙනවා.

    බංග්ලාදේශ රජය නිවේදනය කරන්නේ, රට පුරා උත්සන්න වෙමින් පවතින වත්මන් ප්‍රචන්ඩකාරි තත්වය පාලනය කිරීම සඳහා හමුදාව යෙදීමට ද පියවර ගන්නා බවයි. රජයේ රැකියා කෝටාවට එරෙහිව බංග්ලාදේශය පුරා උද්ගතව ඇති විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු විරෝධකරුවන් සහ එරට පොලිසිය අතර ගැටුම් දින කිහිපයක් තිස්සේ පවතිනවා.

    විරෝධතා හමුවේ උත්සන්න වෙමින් පවතින ප්‍රචණ්ඩ ක්‍රියා පාලනයට එරට පුරා වහාම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය ඊයේ මධ්‍යම රාත්‍රී සිට පැනවීමට සහ සිවිල් බලධාරින්ට සහය වීම සඳහා හමුදාව යෙද වීමට ද රජය තීරණය කර ඇති බව, බංග්ලාදේශ අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරනවා.

    ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සඳහා ඩකා අගනුවර සියලුම මහජන රැස්වීම් තහනම් කිරීමට ද පොලිසිය මින් පෙර පියවර ගෙන තිබුණා. රට තුළ අන්තර් ජාල පහසුකම් ද සම්පූර්ණයෙන් අක්‍රීය කිරීමට බලධාරින් පියවර ගනු ලැබුවේ, විරෝධතා පාලනය කිරීමේ පියවරක් ලෙසයි.

    එසේ තිබියදීත් ඩකා අගනුවර ඇතුළු ඊට තාදාසන්න ප්‍රදේශවල විරෝධතා අඛණ්ඩව පැවතීම සහ පොලිසිය හා විරෝධතාකරුවන් අතර ගැටුම් උත්සන්න වන අයුරු දක්නට ලැබුණා. එරට සියලුම රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාල වසා දමා, ඊට ආරක්‍ෂක අංශ යෙදවීමට ද රජය මේ වන විට පියවර ගෙන තිබෙනවා.

    වි‍ශ්වවිද්‍යාල ශිෂ්‍ය නායකයින් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවයි, බංග්ලාදේශ රජය ප්‍රකාශ කරන්නේ. රට තුළ වි‍රෝධතා ආරම්භ වූ දින සිට මේ දක්වා පුද්ගලයින් 67 දෙනෙකු පමණ ජීවිතක්‍ෂයට පත්ව ඇති බව, එරට මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

    එහෙත් බංග්ලාදේශ බලධාරින් පවසන්නේ, එරට පුරා මේ වන විට සියලුම සන්නිවේදන මාර්ග වසා දමා ඇති බැවින්, ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව තවමත් නිෂ්චිතව ගණනය කිරීම දුෂ්කර වී ඇති බවයි.

    Latest News