ජනාධිපති ශිෂ්‍යත්ව පිරිනැමීම දිස්ත්‍රික් මට්ටමින් අද ඇරඹේ

ජූලි 12, 2024
    ජනාධිපති ශිෂ්‍යත්ව ප්‍රදානය අද (12) සිට දිස්ත්‍රික් මට්ටමින් ආරම්භ කිරීමට නියමිතයි.
    අ.පොස. උසස් පෙළ හා පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා වූ අධ්‍යාපනය ලබන අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් සඳහායි, මෙම ශිෂ්‍යත්ව පිරිනැමෙන්නේ.
    කොළඹ දිස්ත්‍රික්කයට අදාළ ශිෂ්‍යත්ව ලබාදීම පසුගියදා (ජුනි 19) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී සිදු කෙරුණා.
    ඒ අනූව අනෙකුත් දිස්ත්‍රික්ක 24ට අදාළ ශිෂ්‍යත්ව පිරිනැමීම අද සිට දීප ව්‍යාප්තව සිදු කෙරෙනවා.
    හම්බන්තොට දිස්ත්‍රික්කයේ තෝරාගත් සිසුන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය අද සහ එළෙඹෙන 15 වැනිදා සිදු කෙරෙන අතර, බදුල්ල, මාතලේ සහ යාපනය දිස්ත්‍රික්කවල ජුලි 13 වැනිදා ද, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ජූලි 14 වැනිදා ද, ගම්පහ දිස්ත්‍රික්කයේ ජූලි 16 සහ 17 යන දිනයන්හිදී ද සිදුකෙරෙනු ඇති.
    ගාල්ල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල දරුවන් සඳහා ජූලි 15 දින ද, වවුනියාව, මඩකලපුව, රත්නපුර, කෑගල්ල, නුවරඑළිය දිස්ත්‍රික්කවල ජුලි 16 දින ද, ශිෂ්‍යත්ව පිරිනැමීම සිදු කිරීමට නියමිතයි.
    දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන්, සියලු කලාප අධ්‍යාපන කාර්යාල සහ විදුහල්පතිවරුන්ගේ සම්බන්ධීකරණයෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය සිදු කෙරෙන අතර පළමු අදියරේ දී ශිෂ්‍යත්ව ලාභීන්ගෙන් කොටසක් පමණක් ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සව සඳහා කැඳවීමට නියමිතයි.
    දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක සඳහා අධ්‍යාපන කලාප මට්ටමින් එක් එක් පාසලින් පළමු අදියරේදී තෝරා ගන්නා ලද ශිෂ්‍යත්වලාභීන්ගේ නාම ලේඛනය ජනාධිපති අරමුදලේ නිල Facebook පිටුවේ පළ කිරීමට කටයුතු කර ඇත.
    දිස්ත්‍රික් මට්ටමින් සිදුකරන මෙම ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සව පිළිබඳව යාවත්කාලීන කරන ලද තොරතුරු දැන ගැනීම සඳහා ජනාධිපති අරමුදලේ facebook.com/president.fund යන නිල facebook පිටුව වෙත යොමු වන ලෙස ද ජනාධිපති අරමුදල වැඩිදුරටත් දැනුම් දෙනවා.
    වැඩිදුර තොරතුරු අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාල මඟින් ලබාගත හැකි අතර එහිදී යම් ගැටළුවක් මතුවුවහොත් පමණක් 0112354354 – දිගු අංක 4835 ඔස්සේ සහ 0740854527 (Whatsapp පණිවිඩ පමණි) මඟින් ජනාධිපති අරමුදලේ නිලධාරින් සම්බන්ධ කර ගත හැකියි.

    Latest News