'12ට පෙර වහාම එන්න' ස්ථානාධිපතිවරුන්ට රතු එළියක්

ජූලි 10, 2024
    වර්ජනයේ නිරත දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් අද දහවල් 12.00 ට පෙර අදාළ දුම්රිය ස්ථානයට හෝ ආසන්නම දුම්රිය ස්ථානයට වාර්තා කළ යුතු බව දුම්රිය සාමාන්‍යාධිකාරි එස්.එස්.මුදලිගේ මහතා දැනුම් දෙනවා.
    එසේ නොකරණ සියලුම නිලධාරීන් සේවය හැරගියාසේ සලකන බවයි දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සඳහන් කරන්නේ.
    මේ අතර, ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඊයේ මධ්‍යම රාත්‍රී සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් මගීන් දැඩි අපහසුතාවට පත්ව සිටිනවා.
    දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කර ඇති පසුබිමකයි මෙම වර්ජනය ක්‍රියාත්මක කර ඇත්තේ. අද උදේ කාර්යාල දුම්රිය රැසක් අවලංගු කර තිබුණා.
    එහෙත්, කොටුව දුම්රිය ස්ථානයේ සිට වේයන්ගොඩට දුම්රිය දෙක බැගින්ද, පොල්ගහවෙල සිට කොටුව දක්වා දුම්රිය දෙකක්ද, ගාල්ල සිට කොටුව දක්වා දුම්රිය තුනක්ද, අලුත්ගම සිට කොළඹ දක්වා දුම්රියක්ද අද ධාවනයේ යෙදවීමට පියවර ගෙන ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව කියා සිටින්නේ.

    Latest News