දුම්රිය වැඩවර්ජනය අදත් - දුම්රිය 20ක් අවලංගුයි

ජූනි 10, 2024

    දුම්රිය එංජින් රියදුරන් විසින් ආරම්භ කළ වැඩවර්ජනය තුන්වන දිනටත් අද (10) ක්‍රියාත්මක වන බව ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය පවසනවා.

    පසුගිය 6 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 සිට ඔවුන් වර්ජනය ආරම්භ කළේ දෙවන පෙළ උසස් වීම් ලබාදීම ප්‍රමාද වීම, බඳවාගැනීම් ප්‍රමාද වීම ඇතුළු ගැටලු කිහිපයක් මුල්කර ගනිමින්.

    දුම්රිය ධාවනාගාර 5 න් ධාවනාගාර දෙකක රියදුරන් පමණක් එම වර්ජනයට එක්ව සිටින අතර මේ හේතුවෙන් බලවේග කට්ටල දුම්රිය ධාවනය අඩපණ වී තිබුණා.

    කෙසේ වෙතත්, ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය ඇතුළු වෘත්තීය සමිති 05කට සිය ගැටලු ඉදිරිපත් කිරීම සඳහා අද දහවල් 12.00 ට ප්‍රවාහන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මහාමාර්ග අමාත්‍යංශයේ දී විශේෂ සාකච්ජාවක් පැවැත්වීමට නියමිතයි.


    දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වී.එස් පොල්වත්ත මහතාගෙන් කළ විමසීමක දී ඔහු පැවසුවේ අදාළ සාකච්ඡාව සම්බන්ධයෙන් ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමයේ සභාපතිවරයාව දැනුවත් කර ඇති බවයි.

    මේ අතර අද උදෑසන කාර්යාල දුම්රිය 47ක් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ අතර ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගම සඳහන් කළේ, අද උදෑසන කාර්යාල දුම්රිය 20ක් ධාවනය නොවන බවයි.

    ඒ අනුව ප්‍රධාන මාර්ගයෙන් කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රියන් 11ක්, හලාවත මාර්ගයෙන් සහ උතුරු මාර්ගයෙන් කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රිය 04 බැගින් මෙන්ම මුහුදු බඩ මාර්ගයෙන් කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රිය 18ක් සහ කැලණිවැලි මාර්යෙන් කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රිය 03ක් අද දිනයේ ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේය.

    එමෙන්ම කොළඹ කොටුවේ සිට මුහුදු බඩ මාර්ගයේ කාර්යා දුම්රිය 7ක් ධාවනය කෙරෙන අතර දුර ගමන් සේවා දුම්රියන් සාමාන්‍ය පරිදි ධාවනය වන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

     

     

    Latest News