දක්ෂිණ අධිවේගයේ වැලිපැන්න පිවිසුම වැසෙයි

ජූනි 02, 2024

    අධික වැසි සහිත කාලගුණය හමුවේ, ප්‍රදේශ රැසකින් ආපදා තත්වයන් වාර්තා වනවා.

    ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ, කොළඹ සහ රත්නපුර දිස්ත්‍රික්කවලින්, පුද්ගල මරණ 7 ක් වාර්තා වී ඇති බවයි. නාය අනතුරු ප්‍රදේශවලට නිකුත් කර ඇති රතු නිවේදන, තවදුරටත් බලාත්මකයි.

    දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය අද දිනයේත් අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්‍ දෙනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ යන පළාත්වල, වරින් වර වැසි ඇතිවිය හැකි බව, කාලගුණ නිවේදනයේ සඳහන්. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ ඇතිවිය හැකියි.

    ඊයේ උදේ 08.30 සිට අද උදේ 07.00 දක්වා කාලය තුළ වැඩිම වර්ෂාපතනයක් වාර්තා වුයේ ඇහැලියගොඩ ප්‍රදේශයෙන් එය  මිලි මීටර 427. 5 ක්. ඉංගිරිය, අකුරැස්ස ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයකට ද තද වැසි ඇදහැලුනා.

    වාරිමාර්ග දෙපාර්තමේත්තුව කැලණි, කළු, නිල්වලා යන ගංගා ආශ්‍රිත ප්‍රදේශ, ගංවතුර අවදානම් කලාප ලෙසට දැනුම් දී තිබෙනවා.

    පුත්තලම සිට කොළඹ සහ මාතර හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ද වරින් වර වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ ඇතිවිය හැකියි. හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය වරින් වර පැයට කිලෝ මීටර 55 ත් 65 ත් පමණ දක්වා වර්ධනය විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    එම මුහුදු ප්‍රදේශ ඉතා රළු වියහැකි බැවින්, නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙසයි නාවික සහ ධීවර ප්‍රජාවන්ට දැනුම් දී ඇත්තේ. කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශවල මුහුදු රළ, මීටර 2 ත් 3 ත් අතර ප්‍රමාණයකින් ඉහළ යාමේ හැකියාවක් ද පවතිනවා.

    කොළඹ, කළුතර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට, නාය අනතුරු සම්බන්ධ රතු නිවේදන ක්‍රියාත්මකයි.  

    දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම් මාර්ගය, තාවකාලිකව වසා තැබීමට පියවර ගැනුණා. මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම් දෙන්නේ, එම මාර්ගය ජලයෙන් යටවීම නිසා, පිවිසුමට ඇතුළු වීම හෝ පිටවීමට නොහැකි වී ඇති බවයි.

    මත්තල සිට පැමිණෙන රථ වාහනවලට හා කොළඹ සිට පැමිණෙන වාහනවලට පිටවීමට සහ අලුත්ගම - මතුගම මාර්ගයෙන් අධිවේගී මාර්ගයට ඇතුළු වීමට නොහැකි බවද, එම අධිකාරිය දැනුම් දෙනවා.

    නිල්වලා ගඟ වාන් දැමීම හේතුවෙන්, මාතර දිස්ත්‍රික්කයේ ගම්මාන රැසක ජනතාව ගංවතුර අවදානමට ලක්ව සිටිනවා.

    දැඩි අවදානම් කලාප බවට පත්ව ඇත්තේ අකුරැස්ස, කඹුරුපිටිය, අතුරලිය සහ මාලිම්බඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයි. දිස්ත්‍රික්කයේ ප්‍රධාන මාර්ගවල, ගංවතුර හේතුවෙන් ගමනාගමනට බාධා එල්ල වී තිබෙනවා. කඹුරුපිටිය - දෙයියන්දර, කඹුරුපිය - හොරපාවිට සහ අකුරැස්ස  - කඹුරුපිටිය ආදී මාර්ග ඊට ඇතුළත්.

    ගංවතුර හේතුවෙන්, රත්නපුර සහ ඇලපාත යන ප්‍රාදේ‍ශීය ලේකම් කොට්ඨවලට ද දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ, එම ප්‍රදේශයන්හි මාර්ගවල ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි.

    ගාල්ල, මාපලගම ප්‍රදේශයේ පහත් බිම් ද ජලයෙන් යට වී තිබෙනවා. ගිං ගගේ ඉහළ ජල පෝෂක ප‍්‍රදේශවලට ඇද හැලෙන වාර්ෂාව නිසා, ගිං ගඟ බද්දේගම ජල මාපකයේ ජල මට්ටම, ඉහළ ‍ගොසින්. ගාල්ල අවට මුහුදු ප්‍රදේශවල ජනතාව අද ධීවර සහ නාවික කටයුතුවලින් ඉවත්ව සිටියා.

    ඊ‍යේ රාත්‍රී සිට ඇදහැලුණු අධික වර්ෂාවෙන්, පුස්වැලිඔය පිටාර ගැලීම නිසා, පාදුක්ක පහත් බිම් රැසක් ජලයෙන් යට වුණා.

    මැල්ලවත්ත, අරුක්වත්ත සහ ගලගෙදර යන ප්‍රදේශවල නිවාස රැසක් ජලයෙන් යට වී තිබෙනවා. පාදුක්ක - හංවැල්ල මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වුණා.

    මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල ඊයේ රාත්‍රී සිට ඝණ මීදුම් තත්වයක් පැවතීම නිසා, රථ වාහන ධාවනයට බාධා එල්ල වී තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ, හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ, හැටන් සිට කිතුල්ගල දක්වාත්, හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ සහ අතුරු මාර්ග කිහිපයකත් ඝණ මීදුම් තත්වය පවතින බවයි.

    බෙලිඅත්ත - හක්මන මාර්ගය, තංගල්ල - නලගම මාර්ගය සහ වලස්මුල්ල - බෙලිඅත්ත මාර්ගය ද ජලයෙන් යට වී තිබුණා.

    පාදුක්ක ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ ස්ථාන රැසක් ද ජලයෙන් යට වුණා. අප වාර්තාකරු ප්‍රකාශ කළේ, පුස්වැලි ඔය පිටාර ගැලීමෙන් පහත් බිම් ගණනාවක් ජලයෙන් යට වූ බවයි.

    කැලණි ගගේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා. මේ හේතුවෙන් අවධානයෙන් පසුවන ලෙස, කොළොන්නාව කැලණි ගං මිටියාවතේ පහත් බිම්වල වෙසෙන ජනතාවගෙන් ඉල්ලීමක් කෙරෙනවා. නාගලකම් වීදිය ජල මාපකය, අඩි 5 යි, අගල් එකක් දක්වා ඉහළ ගොස් තිබුණා.

    හගුරන්කෙත, මතුරට පොලිස් බල ප්‍රදේශයේ, වැටඑක්ගම ග්‍රාම නිලධාරී වසමේ නිවසක් ඉරි තැලීමට ලක්ව තිබෙනවා.

    Latest News