නිරිත දිග මෝසම තවදුරටත් සක්‍රීයයි

මැයි 29, 2024

    අද උදෑසන කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයට අනුව සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වේ.

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇතිවේ.

    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැක.

    ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

    මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වලත් ත්‍රීකුණාමලය සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (50-60) ක පමණ තද සුළං ඇතිවිය හැක.

    සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයින වටා වන මුහුදු ප්‍රදේශ තවදුරටත් ඉතා රළුවන බැවින් නැවත දැනුම්දෙන තුරු මෙම මුහුදු ප්‍රදේශ වල යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට දැනුම්දෙනු ලැබේ.

    කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් (2.5 – 3.5) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බැවින් එම ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතී.

    වැසි තත්ත්වය:

    පුත්තලම සිට කොළඹ හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලවිටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    සුළඟ:

    දිවයින වටා වන මුහුදු ප්‍රදේශවලසුළං නිරිත දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (40-50) පමණ වේ. මෙම සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (60-70) දක්වා වැඩි විය හැක.

    මුහුදේ ස්වභාවය:

    දිවයින වටා වන මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වේ.

    කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් (2.5 – 3.5) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී. (මෙය ගොඩබිමට එන රළ උස නොවේ)

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

    Latest News