ශිෂ්‍යත්ව අයදුම්පත් භාරගැනීම ඇරඹේ

මැයි 27, 2024

    ශිෂ්‍යත්ව විභාගයට අදාළව මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත්‍ර භාර ගැනීම අද (27) දිනයේ සිට ආරම්භ කෙරෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා.

    ඒ අනුව ජුනි මස 14වන දින දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත්‍ර භාරගැනීම සිදුකරන බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ.

    ජුනි මස 14 වන දින මධ්‍යම රාත්‍රී 12න් පසුව මාර්ගගත ප්‍රවේශය අවසන් කෙරෙන අතර කිසිදු හේතුවක් මත අයදුම්පත්‍ර භාරගැනීමේ අවසන් දිනය දීර්ඝ නොකරන බවද ඔහු කියා සිටියා.

    රජයේ පාසලක හෝ රජය විසින් අනුමත කරන ලද පාසලක පහ ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන්ට පමණක් ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් විය හැකි අතර අඩු ආදායම් සහිත 2025 වසරේ ජනවාරි මස 31 වන දිනට වයස 11ට අඩු සිසුන්ට පමණක් ශිෂ්‍යාධාර ලැබීමට සුදුසුකම් හිමි වෙයි.

    onlineexams.gov.lk යන වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් අයදුම්පත්‍ර ඉදිරිපත් කිරිමට හැකියාව පවතින බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා.

    කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ගැටලු පවතී නම් විභාග දෙපාර්තමේන්තුවේ හදිසි ඇමතුම් අංක 1911 හෝ 011-2 784537 , 0112 786616‍, 0112 784208 යන දුරකථන අංක ඇමතීමෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකි බවද විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවා.

    මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් මස 15 වන ඉරුදින පැවැත්වීමට නියමිතයි.

    Last modified on සදුදා, 27 මැයි 2024 07:57

    Latest News