පාදුක්කේ වෙඩිතැබීම ගැන ගුවන් හමුදාවෙන් විශේෂ පරීක්ෂණයක්

අප්‍රේ 08, 2024
    අද (08) අලුයම පාදුක්ක, අංගමුව ප්‍රදේශයේ දී සිදුකළ වෙඩි ප්‍රහාරයකින් ගුවන් හමුදා සෙබළෙක් ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් ගුවන් හමුදාව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

    නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක, ගෲප් කැප්ටන් දුෂාන් විජේසිංහ මහතා සඳහන් කර ඇත්තේ, ගුවන් හමුදා රග්බි සංචිතයට අනුයුක්තව සේවය කළ ගුවන් හමුදා කෝප්‍රල්වරයෙකු එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවය.

    අද අලුයම පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය අංගමුව ප්‍රදේශයේ රාත්‍රී මුර සංචාර කටයුතුවල නිරතව සිටිය දී පැමිණි අදාළ යතුරුපැදියකට නවත්වන ලෙස නියෝග කර ඇති බව වාර්තා වනවා.
    කෙසේවෙතත් අදාළ පුද්ගලයා පොලිස් අණ නොතකා යතුරුපැදිය ධාවනය කර ඇති අතර ඔහු පොලීසිය දෙසට වෙඩි ප්‍රහාර කිහිපයක් ද එල්ල කර තිබෙනවා.
    එහිදී පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය ආත්මආරක්ෂාව සඳහා වෙඩි තබා ඇති බව වාර්තා වනවා.
    වෙඩි වැදීමෙන් තුවාල ලැබු එම පුද්ගලයා ප්‍රතිකාර සඳහා පාදුක්ක රෝහලට ඇතුළත් කර ඇත.
    පාදුක්ක රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සැකකරු පසුව මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා.
    පොලීසිය පැවසුවේ, එම පුද්ගලයා ඊයේ (07) හොරණ තල්ගහවිල ප්‍රදේශයේ සිදුවු ද්විත්ව මනුෂ්‍ය ඝාතනය සිදුකළ ප්‍රධාන සැකකරු බවයි.

    Latest News