පේදුරුතුඩුව මූලික රෝහලට නව හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකයක් - වටිනාකම රුපියල් බිලියන 4 ක්

මාර් 23, 2024

    මෙරට සෞඛ්‍ය සේවාව ඉහළ නංවමින් එය රටේ ආර්ථිකයට ප්‍රශස්ථ ලෙස දායක කර ගැනීම සියලුදෙනාගේ වගකීමක් බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

    කෘත්‍රීම බුද්ධිය ඇතුළු නවීන තාක්ෂණය සෞඛ්‍ය ක්ෂේත්‍රයට එක් කර ගත යුතුයි. පේදුරුතුඩුව මූලික රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර නව ඒකකය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට ඊයේ එක්වෙමින් ජනාධිපතිවරයා මේ පිළිබඳ අදහස් පළ කළා.

    මෙම හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදි කර ඇත්තේ, නෙදර්ලන්ත රජයේ ඩ්‍රයිව් සහන ණය ක්‍රමය යටතේයි. වැය කර ඇති මුදල රුපියල් බිලියන 4 ක්. ජනාධිපතිවරයා නව ඒකකය විවෘත කර එහි නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් රෝහල් කාර්ය මණ්ඩලය සමග සුහද කථා බහක ද නිරත වුණා.

    හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය, මූලික සත්කාර ඒකකය, විකිරණ අංශය, දැඩිසත්කාර ඒකකය, ශල්‍යාගාරය, නොමේරු ළදරු සත්කාර ඒකකය, මාතෘ වාට්ටුව ඇතුළු පහසුකම් රැසක් ‍මීට ඇතුළත්. යාපනය සහ පේදුරුතුඩුව ජනතාව වෙනුවෙන් මෙම වෛද්‍ය පහසුකම් සලසා දීම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී නෙදර්ලන්ත රජයට සිය ස්තූතිය පළ කළා.

    මෙරට පුහුණු වෛද්‍යවරුන් ‍හෝ හෙදියන් සිය දෙනෙකු අතුරින් 30 ත් 40 ත් අතර සංඛ්‍යාවක් රට හැර යාම සිදු වන අතර, ජනාධිපතිවරයා අවධාරණය කළේ, එය අඛණ්ඩව සිදු වීම රටට යහපත් ‍තත්වයක් නොවන බවයි. මෙරට වෛද්‍ය සහ හෙද අවශ්‍යතාවය සපුරාලීම සඳහා වාර්ෂික බඳවා ගැනීම් ඉහළ නංවන ලෙස ජනාධිපතිවරයා ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට ද උපදෙස් දී තිබෙනවා.

    එම පුහුණු කිරීම් සඳහා අවශ්‍ය පහසුකම් ප්‍රවර්ධනය කළ යුතුයි. හරිත සරසවියේ වෛද්‍ය පීඨය සඳහා ශික්ෂණ රෝහලක් පවත්වාගෙන යාමේ අයිතිය ලබා දී ඇති අතර, ලයිසියම් කැම්පස් ද එවැනි ඉල්ලීමක් සිදු කර ඇති බව, ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා. කෘත්‍රීම බුද්ධිය වැනි නවීන තාක්ෂණය සෞඛ්‍ය ‍ක්ෂේත්‍රයට එක් කර ගනිමින් නවීන වෛද්‍ය ක්‍රමයක් පවත්වාගෙන යාම පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී අවධානය යොමු කළා. නව ප්‍රතිකාර ඒකකය ජනතා අයිතියට පත් කිරිමේ අවස්ථාවට නෙදර්ලන්ත තානාපති බො‍නී හොබැක් මහත්මිය ද සහභාගී වුණා.

    Latest News