කෙහෙළියගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

පෙබ 29, 2024
    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා  කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් සිය නීතිඥවරු මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.
     
    නීතිඥ සනත් විජේවර්ධන මහතා මාර්ගයෙන් ගොණුකර තිබෙන එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.
     
    සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් වගඋත්තරකරුවන්ගෙන් රුපියල් මිලියන 100ක වන්දියක් අයකර දෙන නියෝගයක්  නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ඉල්ලා තිබෙනවා. 
     
    පෙත්සම්කාර රඹුක්වැල්ල මහතා කියා සිටින්නේ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා තමන් ඉකුත් පෙබරවාරි මස 02 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි බවයි.
     
    එහිදී ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තමන්ව අත්අඩංගුවට ගෙන යන්න මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කටයුතු කළ බවත් පෙත්සම්කරු සඳහන් කළා.
     
    තමන්ව අත්අඩංගුවට ගෙන පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගත් තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් ඒ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.
     
    එමෙන්ම පොදු දේපළ පනත යටතේ තමන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීම වෙනුවෙන් රුපියල් මිලියන 100 ක වන්දියක් අයකර දෙන නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර රඹුක්වැල්ල මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

    Latest News