රබර් අස්වනු සහයකයින්ට NVQ 3 සහතිකයක්

පෙබ 16, 2024
    රබර් කර්මාන්තයේ රබර් අස්වනු සහයකයින්ට ජාතික වෘත්තිය නිපුනතා සහතිකය ලබාදීමට ජාතික ආධුනිකත්ව මණ්ඩලය පියවර ගෙන තිබෙනවා. ඒ, කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ඉල්ලීමකට අනුවයි.

    ඒ අනුව, මෙරට ප්‍රථම වරට රබර් අස්වනු සහයකයින් 169 දෙනෙකුට NVQ 3 සහතිකපත් ප්‍රදානය අගලවත්ත රබර් පර්යේෂණ ආයතනයේදී ඊයේ සිදු කෙරුණා.

    උත්සවය පැවැත්වුණේ, කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්. රබර් කිරි කැපීමේ කටයුතුවල නිරතවන කම්කරුවන් ලෙස මෙතෙක් හඳුන්වනු ලැබූ මෙම පිරිසගේ වෘත්තියට ගරුත්වයක් ලබා දෙමින් රබර් අස්වනු සහයකයින් ලෙස හැඳින්වීමද මෙහිදී සිදු කෙරුණා.
    ජාතික වෘත්තිය නිපුනතා සහතික පිරිනැමීමේදී රබර් අස්වනු සහයකයින්ට උපාධි ලෝගුවක් පළඳවා සහතිකපත් පිරිනැමීමටද රබර් පර්යේෂණ ආයතනය විසින් පියවර ගෙන තිබුණා.
    මීට පෙර තල්, කිතුල් සහ පොල් කර්මාන්තය ආශ්‍රිතව රාමදින හා ගෙඩි කඩන පුද්ගලයින්ටද NVQ 3 සහතිකපත් ලබාදී තිබෙනවා. රබර් පර්යේෂණ මණ්ඩලය, ජාතික රබර් පර්යේෂණ ආයතනය සහ ජාතික ආධුනිකත්ව මණ්ඩලයේ නිලධාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.

    Latest News