රා මදින්නන්ට NVQ-3 පොල් කඩන අයට රක්ෂණයක්

පෙබ 07, 2024
    මෙරට තල්, කිතුල් සහ පොල් ගස් මදින හා ගෙඩි කැඩීමේ නිරත තැනැත්තන් සඳහා ජාතික වෘත්තිය නිපුණතා (NVQ -3 මට්ටමේ) සහතික ලබාදීමට රජය සැලසුම් කර තිබෙනවා.

    මෙම ජාතික වෘත්තිය නිපුණතා සහතික ලබාදීමේ දී අදාළ වෘත්තීන්හි නිරත අය සඳහා සති දෙකක විධිමත් පුහුණුවක් ජාතික ආධුනිකත්ව මණ්ඩලය විසින් ලබා දීමට නියමිතයි.

    මේ යටතේ, ගස් නැඟීම කරන අවස්ථාවේ හදිසි රෝග තත්ත්වයකට ලක්වීම, සර්ප දෂ්ටන හා ගසෙන් ඇද වැටීම මඟින් පූර්ණ හෝ අර්ධ ආබාධ තත්ත්වයට පත්වීම වළක්වා ගැනීම සඳහා ගත යුතු ක්රියාමාර්ග පිළිබඳ දැනුවත් කෙරෙනවා.
     
    තල්, කිතුල් සහ පොල් ආශ්රිත කටයුතු කරන පුද්ගලයන්ගේ සුභසාධනය වෙනුවෙන් ගනු ලබන පියවර සම්බන්ධව සාකච්ඡාවක් පසුගියදා (05) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර මහතාගේ ප්රධානත්වයෙන් එම අමාත්යාංශයේදී පැවැත්වුණා.
     
    එම අවස්ථාවේදී මෙම කරුණු සාකච්ජා කෙරුණා.
    මෙම කටයුතුවල නිරතවන පුද්ගලයන්ට ස්වයං රැකියාවක් හෝ ව්යවසායකත්ව හැකියා වර්ධනය සඳහා සහන පොලියක් යටතේ රුපියල් ලක්ෂ 05ක ණය ආධාරයක් ලබාදීමට ද මේ වනවිට සැලසුම් කර තිබෙනවා.
     
    තල්, කිතුල් සහ පොල් ගස් මැදීම හා ගෙඩි කැඩීම වැනි කටයුතුවල නිරත පුද්ගලයන්ට රක්ෂණාවරණයක් ලබාදීමේ ක්රමයක් ඇති කිරීම කෙරෙහි ද අවධානය යොමු කර තිබෙනවා.
    මේ සම්බන්ධව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් අදාළ වැඩපිළිවෙළ සකස් කිරීමට යෝජිතයි.
     
    අමාත්යවරයා අවධාරණය කළේ මෙම කටයුතුවල නිරත වන බොහෝ පුද්ගලයන් හදිසි අනතුරුවලට ලක්ව ජීවිතය අහිමි වූ අවස්ථාවන්හිදී සහ පූර්ණ ආබාධිත තත්ත්වයන්ට ලක් වූ විට එම පවුල්වල සාමාන්ය ජීවිත තත්ත්වයන් මුළුමනින්ම බිඳ වැටෙන බැවින් එම තත්ත්වයන් අවම කර ගැනීම සඳහා මෙම වැඩපිළිවෙළ කඩිනමින් ක්රියාත්මක කරන ලෙසයි.
    Last modified on බදාදා, 07 පෙබරවාරි 2024 08:38

    Latest News