ඩොලර් මිලියන 330ක් ලංකාවට

ඔක් 20, 2023

    ශ්‍රී ලංකාව, IMF මූල්‍ය පහසුකමේ, අමෙරිකානු ඩොලර් මිලියන 330 ක දෙවැනි අදියර ලබා ගැනීම සඳහා වන කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළඹ තිබෙනවා. ඒ සඳහා IMF විධායක මණ්ඩල අනුමැතිය ලබා ගැනීම ඊලඟ පියවරයි.

    අමෙරිකාවේ වොෂින්ටන් සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී IMF - ශ්‍රී ලංකා කාර්යාලයේ ප්‍රධානි පීටර් බ්‍රෙවර් මූල්‍ය පහසුකම් වැඩපිළිවෙළේ ඉදිරි තත්වය පැහැදිළි කළා.

    එහිදී ඔහු කියා සිටියේ, ශ්‍රී ලංකාව හදුන්වා දී ඇති සාර්ව ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රතිසංස්කරණ නිසි ඵල දරමින් ඇති බවයි. ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු ලෙස ස්ථාවර වෙමින් පවතින බව ද ඔහු කියා සිටියා.

    ඉදිරි කාලයේදී IMF විධායක මණ්ඩල අනුමැතිය ලැබීමත් සමග ශ්‍රී ලංකාවට මූල්‍ය පහසුකමේ දෙවැනි වාරිකය ලබා ගත හැකි වනවා. එය ලැබීමත් සමග මුල් වාරික දෙක තුළදී ශ්‍රී ලංකාවට ලැබී ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 660 ක්. මෙම වැඩපිළිවෙළ ඉදිරියට යාම සඳහා අවශ්‍ය ඊළඟ පියවර වන්නේ, ශ්‍රී ලංකාවේ නිල ණය හිමියන් සමග ගිවිසුමකට එළඹ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාම බවයි IMF සංවිධානය පෙන්වා දෙන්නේ.

    Last modified on සිකුරාදා, 20 ඔක්තෝබර් 2023 11:53

    Latest News